May 09, 2019

රියදුරු බලපත්‍ර දත්ත ගබඩාව කොම්පැනියක් අතේ : ජාතික ආරක්ෂාව අනතුරේ ! Featured

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදු කරන මෙට්‍රොපොලිටන් (Metropolitan) ආයතනය අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේදී ලබාගත් පුද්ගල දත්ත ගබඩාව මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයට ලබා නොදීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් එල්ලවී ඇති බව වාර්තා වේ.

එසේම එය තෙවැනි පාර්ශවයක් සතුවීම හේතුවෙන් ඒවායේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද ගැටලු මතුව ඇති බව ආරක්ෂක අංශ පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

කිසියම් කණ්ඩායමක් එම තොරතුරු බලහත්කාරයෙන් ලබා ගැනීමක් සිදු කළහොත් එවිට එසේ රියදුරු බලපත්‍ර ලබාගත් සමස්ථ රියදුරන්ගේම තොරතුරු තවත් පාර්ශව කිහිපයකට අනාවරණයවීමේ හැකියාව ඇති බවද පැවසේ.

එසේම මෙම රියදුරු බලපත්‍ර සකස් කිරීමේදී මෙතෙක් අක්‍රමිකතා සිදුව ඇත්ද යන්න පරික්ෂා කර ගැනීමට ද මේ තත්ත්වය හේතුවෙන් නොහැකිව ඇති බව එම කොමසාරිස් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වසර 2007 පමණ සිට රියදුරු බලපත් මුද්‍රණ කොන්ත්‍රාත්තව ලබාගෙන සිටින මෙට්‍රොපොලිටන් ආයතනය මේ ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ build operate transfer ටෙන්ඩර් ක්‍රමවේදයට අනුවය. ඒ අනුව ඔවුන් පුද්ගල දත්ත මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට ලබාදීමට බැදී සිටියි.

එම සමාගම මේ දත්ත ගබඩාව ද ලබා දී නොතිබියදී එම සමාගමට රියදුරු බලපත්‍රය මුද්‍රණය කිරීමේ කටයුතු තවත් සය මසක කාලයක් සඳහා දීර්ඝ කර ඇති බවද මේ අතර වාර්තා වේ.

මේ දිර්ඝ කිරීම සිදු කර ඇත්තේ මේ සඳහා ක්‍රියාත්මක වෙමින් තිබූ ටෙන්ඩරය මුලින් තාවකාලිකව අත්හිටුවා ඉන් මාස එකහමාරකට පමණ පසුව එය සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම නිසාය.

කෙසේවුවද, මේ සඳහා අලුතින් ටෙන්ඩරයක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ උපදෙස් ලැබී ඇති බවද වාර්තා වේ.

එසේ මේ ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු පවරා ඇත්තේ පසුගිය කාලයේ දී වැඩිම දූෂණ චෝදනා එල්ලවූ නිලධාරියකු වන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ තොරතුරු හා සංනිවේදන කොමසාරිස් තුෂාර සුරවීර මහතාටය.

මෙට්‍රෝලාගේ කාඩ් එකෙත් හිල් ගොඩයි

කෙසේවුවද, රියදුරු බලපත්‍ර මුද්‍රණය දැනට සිදුකරනු ලබන මෙට්‍රෝපොලිටන් ආයතනය විසින් ලබාදෙන රියදුරු බලපත්‍රය දෙකට මැද්දෙන් කැඩීයාමේ ප්‍රවණතාවයක් ඇති බාල එකක් බවද පැවසේ.

මෝටර් රථ කොමසාරිස් කාර්යාලයෙන් ලැබෙන ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එසේ රියදුරු බලපත්‍රවලට හානිවූයේ යැයි ලැබෙන පැමිණිලි දිනෙන් දිනම වැඩිවෙමින් ඇති බවයි.

එසේම එහි ඇති චිපයේ දත්ත ගබඩා වෙන්නේද යන්න පිළිබඳව ද අවිශ්වාසයක් ඇතිව තිබේ.

ඒ අදාළ ටෙන්ඩරයට අනුව එම චිපය පරික්ෂා කිරීමේ උපකරණ මෙට්‍රොපොලිටන් සමාගමෙන් මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවට හා පොලිස් ස්ථානවලට ලබාදිය යුතු වුවත් එය මෙතෙක් සිදුව නොමැති බවද පැවසේ.

අයියෝ අයිවෝ !

මේ අතර මෙට්ට්‍රෝපොලිටන් සමාගමේ (Metropolitan) ප්‍රධාන විධායක නිලධාරීයා වන මුස්ලිම් ජාතික අයිවෝ මහරුෆ් (Ivor Maharoof) මහතාගේ ක්‍රියා කලාපයන් සම්බන්ද පසුගිය කාලයේ මාධ්‍ය චෝදනා එල්ලකර තිබූ අතර ඔහු ටෙන්ඩර් ලබා ගැනීමට උසස් රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් ලබාදෙන බවට චෝදනා එල්ලවී තිබිණි.

මෙට්‍රොපොලිටන් සමාගමට රටක ජාතික සම්පතක් වන පාසැල් යන දරු දැරියන්ගේ අධ්‍යාපනික ව්‍යාපෘති වලින් පවා අයථා ලෙස මුදල් හම්බ කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර මේ හේතුවෙන්ම ජනාධිපතිවරයා ටැබ් පරිඝණක (Tab) ගණුදෙනුවේ ටෙන්ඩර නවතා දැමීමට ද කටයුතු කළේය.

කෙසේවුවද, ආදළ විරෝධතාවයද නොතකා ටෙන්ඩරය ලබාදී තිබූ සමාගම විසින් කෙසේ හෝ මේ ටෙන්වරය ලබා ගැනීමට මේවන විට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇති බවද පැවසේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මහා ටෙන්ඩර් කිහිපයකද දූෂිත මට්ටමේ අක්‍රමිකතාවලට සම්බන්ධ වී සිටින්නේත් මෙම මෙට්ට්‍රෝපොලිටන් ආයතනයේ අයිවෝ මහරුෆ් බව මීට පෙර හෙළිව තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top