May 11, 2019

මහින්ද 13දා ප්‍රහාරයක් ගැන කියයි : ළමුන් පාසල් යැවිය හැකිද? Featured

එළඹෙන 13 වැනිදා දරුණු ප්‍රහාරයක්‌ එල්ල විය හැකි බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක්‌ කර තිබිය දී ලක්‌ෂ හතරක පාසල් දරුවන්ගේ අනාගතය අනාරක්‌ෂිත කිරීම සාධාරණ දැයි විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (10 වැනිදා) ආණ්‌ඩුවෙන් විමසා සිටියේය.

ජාතියේ දරුවන් පිළිබඳ කැක්‌කුමක්‌ ආණ්‌ඩුවට වඩා ආගමික නායකයන්ට ඇතැයි කී රාජපක්‌ෂ මහතා ආරක්‌ෂක අංශවල මෙන්ම දේශපාලන නායකයන්ගේ දරුවන් මේ දිනවල පාසල් නොයවන බව ද කීවේය.

පළමු ශ්‍රේණියේ සිට හයවැනි ශ්‍රේණිය දක්‌වා දරුවන්ගේ පන්ති ලබන සඳුදා ඇරැඹීමට සූදානම් කර ඇති අවස්‌ථාවක එදින දරුණු ප්‍රහාරයක්‌ විය හැකි බවට බුද්ධි අංශය විසින් තම ආරක්‌ෂක නිලධාරීන්ට අනතුරු ඇඟවීමක්‌ කර ඇතැයි මහින්ද රාජපක්‌ෂ මහතා කීවේය.

බුද්ධි අංශ එවැනි අනතුරු ඇඟවීමක්‌ කර තිබිය දී පාසල් දරුවන් අනාරක්‌ෂිතව පාරට ගැනීම සාධාරණ දැයි විමසූ විපක්‌ෂ නායකවරයා, වඩා වැදගත් වන්නේ පාසල් විෂය නිර්දේශ නියමිත කාලයට පෙර සම්පූර්ණ කිරීම ද නැතිනම් දරුවන්ගේ ආරක්‌ෂාව දැයි ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කළේය.

''අපට වෙඩි නොවදින වාහන තියෙනවා. ඒත් දරුවන් බුලට්‌ පෲෆ් නොවේ. දරුවන්ගේ ජීවිත එක්‌ක දේශපාලන සූදුව කරන්න එපා. දරුවන්ගේ ජීවිත එක්‌ක විහිළු කරන්න එපා." යෑයි ද රාජපක්‌ෂ මහතා කීවේය.

තමන් මෙම ඉල්ලීම කරන්නේ හිටපු ජනාධිපතිවරයා හෝ විපක්‌ෂ නායකවරයා ලෙස නොව දරුවන්ට ආදරය කරන තාත්තා කෙනකු ලෙස බව ද රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ පැවැති සභාව කල් තැබීමේ විවාදයට එක්‌වෙමින් විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා කීවේය.

ආරක්ෂක තත්වය තහවුරු වී ඇති බවට සහතිකයක් !

  106855226 gettyimages 1141598072 594x594පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පාසල් පැමිණෙන සිසුන්

 

මේවනවිට පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්වය තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා(මාර්තු 06) දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලද නමුත් දින කීපයක් ගත වුව ද දිවයින පුරා පාසල්වලට සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව නොමැත.

පවතින වාතාවරණය තුළ පාසල් ආරම්භ කළ ද දරුවන්ගේ පැමිණීම අවම මට්ටමක පවතින බව ලංකා ගුරු සංගමය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වේ.

මෙයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ, දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ විශ්වාසය තහවුරු කිරීමට නොහැකි වී තිබීම බව එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.

කෙසේනමුත්, අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත උපදෙස් දී තිබෙන බව රජයේ නිල වෙබ්අඩවිය සඳහන් කරයි.

මේ අතර, පාසල් කටයුතු අඩාල වන අන්දමින් යම් කණ්ඩායම් වැරදි තොරතුරු පතුරවන බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර, ඇතැම් විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් එල්ල කරන බවට ද තොරතුරු ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 106894053 gettyimages 1141399389 594x594පාසල්වල සෝදිසි කිරීම්විවිධ දේශපාලන අරමුණු, අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

ළමුන් පාසලට නොපැමිණියත් ගුරුවරුන්ගේ සහ පාසලේ ආරක්ෂාව වෙනුවෙන් දෙමාපියන් පාසල් ඉදිරිපිට දිවා රාත්‍රී මුර කරන ආකාරය විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබිණි.

මේ අතර, එක් එක් පාසලට පැමිණි ළමුන්ගේ ගණන දිනපතා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොකරන ලෙස දෙමාපියන් කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉල්ලීම් කර තිබේ.

"මගේ මාධ්‍ය මිතුරණි, සෑම දිනකම එක් එක් පාසලට පැමිණෙන ළමුන්ගේ සංඛ්‍යාව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්න එපා. එයින් අපි නොදැනුවත්වම ලොකු විනාශයක් වෙන්න පුළුවන්," රෝසි ස්ට්‍රෝනැච් සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.

rosi

මෙමගින් දෙමාපියන් තම දරුවන් පාසල් යැවීම සම්බන්ධයෙන් තවත් අධෛර්යයට පත් වන බව අනුපමා ලියනපතිරණ ද සිය අදහස් දක්වමින් කියා තිබේ.

"මාධ්‍ය පොඩි දේවල් ලොකු කරළා පෙන්නනවා. මේ නිසා සමාජය තවත් අධෛර්යයට පත් වෙනවා. අපි අඳුරු යුගයක් පහු කරළා ආවේ. නමුත් ඒ කාලය ඇතුළතත් අපි පාසල් ගමන නැවැත්තුවේ නැහැ."

Anupama

කිතුනු පාසල් යළි ආරම්භ කිරීම :

දැනට වසා දමා ඇති කතෝලික පෞද්ගලික පාසල්වල දෙවැනි පාසල් වාරය ලබන 14 වැනිදා යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලන ශාලාවේදී පෙරේදා (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුහ.

රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් වෙසක් පොහොය පසු වන තුරු නැවත පාසල් වසා තබන බවද උන්වහන්සේ එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

(උපුටා ගැනීම් BBC සිංහල සේවය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top