May 11, 2019

''වචනයට පමණක් සීමා නොවුන කෙනෙක්" - සජිත්ගේ වැඩ ගැන අගරදගුරු හිමි කියයි Featured

ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත් වූ කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානය, මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය හා මඩකළපුව සීයෝන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් දක්වන මැදිහත්වීම කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ බලවත් ප්‍රසාදයට ලක්විය.

ඒ උන්වහන්සේගේ ප්‍රදානත්වයෙන් කොළඹ අගරදගුරු නිල නිවසේදී පෙරේදා (09) පැවති ප්‍රගති සමාලෝචන රුස්වීමේදිය.

විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව අගරදගුරු නිල නිවසේදී පැවති එම රුස්වීමේදී, කොළඹ අගරදගුරු හිමිපාණන් මෙසේ සඳහන් කළහ.

“සජිත් ප්‍රේමදාස මැතිතුමාට මගේ අවංක ස්තූතිය පුදකරන්න ඕනෑ මෙම වැඩපිළිවෙල දියත් කළේ එතුමාගේම කැමැත්තෙන්. එතුමා කිහිපවතාවක්ම මට දුරකථනයෙන් කතා කර මෙම වැඩපිළිවෙල කරන්න ඕනේ කියලා පියවර තැබුවා. එය ලොකු ගෞරවයක් ලෙස අප සැළකුවා.

එතුමා ඉදිරිපත් වී මෙම කටයුත්ත කර දෙන්න කැමැත්ත ප්‍රකාශ කිරීම සහ මෙම වැඩසටහන වචනයට පමණක් සීමා නොකර මෙම වැඩේ ආරම්භ කර දැනටමත් කටයුතු කරගෙන යනවා. එය ලොකු දෙයක්.

කොළඹ අගරදගරු පදවිය වෙනුවෙනුත්, කතෝලික ජනතාව වෙනුවෙනුත්, ඔබතුමාට අපගේ අවංක ස්තූතිය පුදකර සිටිනවා. කාලය ගත කර මෙයට සම්බන්ධවූ ආරක්ෂක අංශ ඇතුළු සියලු දෙනාට මගේ අවංක ස්තූතිය පුදකරනවා. හැකි ඉක්මනින් මෙම වැඩපිළිවෙල දියත් කර මෙම දේවස්ථාන දෙකම ප්‍රතිසංස්කරණය කර පමණක් නොව අලුත් පහසුකම් සහිතව මෙය නිර්මාණය කර දෙන්නට කටයුතු කිරීම ගැන සියලුම දෙනාට ස්තූතිය පුදකර සිටිනවා.”

 ''එය අපේ වගකීමක්'' - සජිත් කියයි

 ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශයට පත්වූ දේවස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු අගරදගුරුතුමන්ගේ, සහයක රදගුරුතුමන්ලාගේ සහ දේවස්ථානවල පියතුමන්ලාගේ ආශිර්වාද, උපදෙස්, නිර්දේශ හා සහභාගීත්වය මත සිදුවිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදාල බලධාරීන්ට උපදෙස් දෙනු ලැබිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “හානියට පත් දේවස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම අපගේ වගකීමයි. මේ සමඟ දිරිය නිවාස වැඩසටහන අතිගරු කාදිනල්තුමාගේ උපදෙස් මත එතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නවා. කොච්චිකඩේ, සාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට අපි තීරණය කර තිබෙනවා.” යයි ද සඳහන් කළේය.

 සජිත් සමග ව්‍යාපාරික ප්‍රජාවත් එයි :

 සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ජාතික සංස්කෘතික අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ශාන්ත මරිය මද්දලේනා දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 40 ක මූල්‍යාධාර ප්‍රදානය හා බොල්ලත රෝමානු කතෝලික දේවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 10 ක මූල්‍යාධාර ප්‍රදානය කිරීමද, මීට අමතරව නිපොලැක් ආයතනය මගින් කොච්චිකඩේ, ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානෙයේ තීන්ත ආලේප කිරීම සඳහා අවශ්‍ය තීන්ත නොමිලේ ලබා දීමේ එකඟතා පත්‍රය ප්‍රදානය කිරීම සිදු කළ අතර ඉන්සේ (සංස්ථා සිමෙන්ති) ආයතනය මගින් එම දේවස්ථාන දෙකෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය කරන සිමෙන්ති නොමිලේ ලබා දීමට මෙහිදී එකඟතාවය පළ කර සිටියේය.

මෙම සාකච්ඡාවට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත මහතා, ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top