May 12, 2019

කිසිඳු මාධ්‍ය වාරණයක් පනවා නැහැ - රජය කියයි

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිඳු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් එබව සඳහන් කර ඇත.

උද්ගතවූ තත්ත්වය සමග තහවුරු කළ තොරතුරු ජනතාව වෙත ලබා දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සියලු ජනමාධ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් පොලිස් සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඇතුළත් වූ විධිමත් යාන්ත්‍රනයක් ස්ථාපිත කර ඇති බව පවසන අධ්‍යක්ෂ ජනරාල්වරයා, එම තොරතුරු ලබා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් ඉකුත් දා පැවැති බවත් එහිදී රටේ දෛනික ජන ජීවිතය යථාවත් කිරීම සඳහා මාධ්‍යයේ සමාජ වගකීම සහ කාර්යය භාර්යය පිළිබඳ සාකච්ඡා කෙරුණ බවද කියා සිටියි.

වැටලීම්වලින් සොයා ගන්නා කඩු කිණිසි ආදියෙහි තහවුරු නොකරන ලද දර්ශන විකාශය සහ පළ කිරීම පිළිබඳ එහිදී අදහස් හුවමාරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිය නිවේදනයෙන් දක්වා ඇත.

එහිදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම වූයේ අනවශ්‍ය ලෙස මහජන කැළඹීම් සහ ජනතාව භීතියට පත්වීම වැළැක්වීම සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් නිකුත් කරනු ලබන හෝ තහවුරු කළ දර්ශන පමණක් විකාශය කරන ලෙසයි. 

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික වගකීමක් සේ සලකා මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා සිය නිවේදනයෙන් දක්වා ඇත. 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top