May 14, 2019

චීනය හා ලංකාව නව ආරක්ෂක ගිවිසුමකට

නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) නිල වශයෙන් චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා හමුවූ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීම පරිදි මේ පරිත්‍යාගය සිදු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

මේ අතර චීන ජනපතිවරයා ත්‍රස්තාවදය ශ්‍රී ලංකාවෙන් තුරන් කර ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහිතක වී ඇත.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝටි 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා මෙහිදි කැමැත්ත පළ කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන ජනාධිපති ෂී ජින්පින්ග් යන මහත්වරුන් දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තබා ඇත.

දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කරගැනීම සම්බන්ධයෙන් එහිදි නායකයන් දෙදෙනා අතර සාකච්ඡාවට ලක්ව ඇත.

අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප්‍රචාර පතුරවමින් සැඟවී සිට ත්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමට සහ එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශ්‍රී ලංකාවට නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරසේන මහතා මෙහිදි චීන ජනාධිපතිවරයාට පවසා ඇත.

එම උපකරණ සහ තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහාය ලබාදීමට චීන ජනාධිපතිවරයා එහිදි එකඟතාව පළ කර ඇති අතර ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද පවසා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරුන් පිරිසක් සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top