May 15, 2019

'ගෝලීය ත්‍රස්තවාදය අතුගාදමමින් ජාතීන් ලෙස මිත්‍රශීලීව කටයුතු කිරීම වැදගත්' Featured

"ජාත්‍යන්තර ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම අතුගාදමමින් අප සැමවිටම ජාතීන් විදියට මිත්‍රශීලීව කටයුතු කිරීමේ වැදගත්කම දකින බව ශ්‍රී ලංකා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ අද (15) සිට චීනයේ බීජිං නුවර ආරම්භ වූ වසර 2019 ආසියානු ශිෂ්ටාචාර කතිකාව පිළිබඳ සමුළුවේ සමාරම්භක උළෙල අමතමිනි.

"ප්‍රධාන වශයෙන්ම ජාත්‍යන්තර අන්තවාදය, අන්තවාදී ත්‍රස්තවාදය, ආගමික අන්තවාදී ත්‍රස්තවාදය... මේ සියල්ල පරාජය කිරීම සඳහා විශේෂයෙන්ම මෙම සමුළුවට පැමිණි ඔබ සියළු දෙනාගේම හඬ, එකමුතුව, එකඟතාවය, එකම මතවාදය, ලෝකය පුරා, ආසියාතික මිත්‍රශීලී සංවිධානයක් වශයෙන් විශේෂයෙන්ම චීන ජනාධිපති අතිගරු ෂී ජින්පින් මැතිතුමා ගේ නායකත්වය තුළ ගොඩනගිනු ඇති යැයි යෝජනා කරනවා," යැයි ද ජනාධිපතිවරයා පවසා සිටියේය.

"රටක ශිෂ්ටාචාරය සහ සංස්කෘතිය ප්‍රධාන වශයෙන් නීතියකින්, ව්‍යවස්ථාවකින්, ජාත්‍යන්තර නියෝගයකින් යටපත් කරන්න නොහැකි බවයි මා විශ්වාස කරන්නෙ... මෙවැනි ඉතා වැදගත් සාකච්ඡාමය සංවාදයකදී අපේ බැඳීම් ශක්තිමත් කරගනිමින් අප සෑම කෙනෙකුගේම ගෞරවය, අන්‍යන්‍යතාවය, ජාතිකත්වය ආරක්ෂා කරගැනීමට පුළුල් ජාත්‍යන්තර වැඩපිළිවෙළක අවශ්‍යතාවය දකිනවා... ආසියාතික රටවල මෙවැනි හමුවීමක් තුළින් නිර්මාණය වීම ඉතා වැදගත් කියා මා අදහස් කරනවා," යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 2019 ආසියානු ශිෂ්ටාචාර කතිකාව පිළිබඳ සමුළුව මෙවර පැවැත්වෙන්නේ පොදු අනාගතයක් සමග ආසියානු ශිෂ්ටාචාර අතර අත්දැකීම් හුවමාරුව හා අන්‍යෝන්‍ය ඉගෙනුම යන තේමාව යටතේය.
ආසියානු රටවල් 47ක ඇතුළු රටවල් රැසක රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංස්කෘතික, අධ්‍යාපන, මාධ්‍ය, සිනමා, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවීණයන් 2,000කට වැඩි පිරිසක් මෙම සමුළුවට එක්වනු ඇති බව සංවිධායකයන් පවසයි. තවද, ප්‍රධාන සමුළුවට හා අනු සමුළු වලට අමතරව, සංස්කෘතික හා සංචාරක අංග රැසක් ද පැවැත්වෙනු ඇත.

මෙම උත්සවය අමතමින් චීන ජනපති ෂී ජින්පින් මහතා පවසා සිටියේ දීර්ඝ කාලයක් පුරාවට සියළු ශිෂ්ඨාචාර එකිනෙකාගෙන් පෝෂණය වූ බවත්, අද දිනයේදී ලෝකයේ කොටසක් වන චීනය අනාගතයේදී ලෝකය වෙත වඩාත් සිය දෑත් විවර කරන බවය.

මෙහිදී කාම්බෝජයේ රජු නොරෝඩම් සිහමොනි මහතා, ග්‍රීසියේ ජනපති ප්‍රොකොපිස් පාව්ලොව්පූලස් මහතා, සිංගප්පූරු ජනපතිනි - හලීමා යාකොබ් මහත්මිය ඇතුළු විදෙස් රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු විසින් මෙම උත්සවය අමතනු ලැබීය.

(ශානිකා ජයසෙේකර - බීජිං සිට)

සබැඳි පුවත් :

චීනය හා ලංකාව නව ආරක්ෂක ගිවිසුමකට

ශ්‍රී ලංකා - චීන ජනපති හමුවක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top