May 16, 2019

ලංකාව හත් වසරක් පස්සට : ණය සහනයේ සැකය Featured

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක ඊයේ (15) දින ගණුදෙනු අවසානයේ දී ඒකක 5,199.98 ක් දක්වා පහලට වැටී තිබිණි.

මෙය 2012 අගෝස්තු 30 දිනෙන් පසු, සියලු කොටස් මිල දර්ශකයෙහි වාර්තා වූ අවම අගය බව පැවසේ.
 
මේ අතර ඊයේ දිනය තුළ දී පමණක් ඒකක 23.71 කින් සියලු කොටස් මිල දර්කය පහල ගිය අතර එය අඛණ්ඩව මිල දර්ශක පහළ ගිය 10 වෙනි දිනය ලෙසින් සටහන්ව තිබේ.
 
දිනය තුළ ගණුදෙනුවලින් වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 388.62 කි. 2019 වසරේ මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 555.9 ක් ලෙසින් වාර්තා වන අතර එය 2018 වසරේ දී රුපියල් මිලියන 834 ක් ලෙසින් වාර්තා විය.
 
ණය
මේ අතර, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රංජිත් විතානගේ මහතා කියා සිටින්නේ රජය විසින් සංචාරක කර්මාන්තය පමණක් ඉලක්ක කරමින් ණය සහන ලබාදීමට කටයුතු කිරීම බලවත් සැකයට තුඩු දෙන්නක් බවයි.
 
මේ තීන්දුවෙන් වැඩි වාසි අත්ව ඇත්තේ ද විශාල ව්‍යාපාරිකයන්ට පමණක් බවත්, රජය සිදුවූ විනාශය සම්බන්ධයෙන් මෙතෙක් ඇස්තමේන්තුවක් නොකිරීමත් මේ ව්‍යසනයෙන් ගොඩඒමට ඔවුන්ට ජාතික සැලැසුමක් නොවීමත් යන කාරණා හේතුවෙන් දිගින් දිගටම ඔවුන් පටු අරමුණවල ගැට ගැසෙමින් සිටින බව ඔහු කියා සිටී.
 
බෝම්බ ප්‍රහාරවලින් බිඳ වැටුණේ සංචාරක කර්මාන්ත පමණක් නොවන බවද පවසන ඔහු, සමස්ත ආර්ථිකයම මේ තත්ත්වය හේතුවෙන් කඩා වැටී ඇති බවත්, ණය සහන ලබාදෙන විට එක් අංශයක් පමණක් කේන්ද්‍ර කරමින් මෙලෙස කටයුතු කිරීම අදාළ තීන්දු තීරණ ගන්නා දේශපාලකයන් තමන් ගනුදෙනු කරනු ලබන විශාල ව්‍යාපාරිකයන්ගේ මතයට පමණක් ඇහුම් කන්දී සිදු කරනු ලබන ඒවා බවට ද ඔහු චෝදනා කළේය.
 
පොලොවේ පය නොගසන දේශපාලඥ තීන්දුවලින් රට තව තවත් අගාධයට යන බවට ද ඔහු චෝදනා කර සිටියේය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top