May 16, 2019

හානි පූර්ණයේ වන්දි උත්සවේ කටුවාපිටියේ කොටසක් වර්ජනය කරයි !

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද (16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවය වන්දි ලාභීන් පිරිසක් වර්ජනය කර තිබේ.

මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළ බව කියමින් ඔවුන් මෙසේ අදාළ උත්සවය වර්ජනය කර තිබිණි.

පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 147 දෙනෙකු සඳහා මිලියන122 ක් සහ තුවාල ලැබූ පුද්ගලයන් 170 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ අවසන් වාරිකය ගෙවීම සඳහා හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.

තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ.

පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවෝ ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර වූහ.

වන්දිලබාගැනීම සඳහා තවමත් සුවනොවූ රෝගීහු කුලී වාහනවලින් පැමිණ සිටියහ.

හානිපුර්ණ කාර්යාලය විසින් වන්දිලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණු අතර මේ හේතුවෙන් ඔවුන්ව නියමිත ආසනවල අසුන්ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සංවිධායකයන්ට සිදුවිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top