May 24, 2019

අනිද්දා ලීඩ්එක අසත්‍යයි - චීන තානාපති කාර්යාලය Featured

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පසුගිය චීන සංචාරය සම්බන්ධයෙන් සතිඅන්ත විකල්ප පුවත්පත් දෙකක් වැඩි අවධානය යොමු කර තිබේ.

කෙසේවුවද, අනිද්දා පුවත්පත සිය ප්‍රධාන පුවත ලෙස දක්වා ඇති “චීන හමුදාව ලංකාවට, චීන සංචාරයේදී ජනපති කැමැත්ත දීලා” යන පුවත සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය පුවතක් බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

ශ්‍රී ලංකා මිරර් එම තානාපති කාර්යාලයෙන් කළ විමසීමකදී මේ බව කියා සිටියේය.

ලංකාවේ තිබෙන චීන ව්‍යාපෘති සඳහා චීන ජාතික සන්නද්ධ ආරක්ෂක භටයන් සමග ආරක්ෂක උපකරණ යෙදවීමට චීන ජනපතිවරයාට ශ්‍රී ලංකා ජනපති සිරිසේන මහතා කැමැත්ත දී ඇතැයි එම පුවත්වතේ දැක්වේ.

මේ අනුව කොළඹ පෝර්ට් සිටි (port city), කොළඹ ෂැන්ග්‍රිලා හෝටලය සහ හම්බන්තොට වරායේ ආරක්ෂාව සඳහා චීන ආරක්ෂක භටයන් 750 දෙනෙකු යෙදවීමට අවශ්‍යව ඇතැයි චීන බලධාරීන් ජනාධිපති සිරිසේන මහතා වෙත දැනුම් දී ඇති බව අනිද්දා ප්‍රධාන පුවතේ වැඩිදුරටත් දැක්වේ.

මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක හා දේශපාලන අංශ ප්‍රධානී Luo Chong මහතා වැඩිදුරටත් සඳහන් කරන්න්නේ ජනාධිපති සිරිසේන මහතාගේ චීන සංචාරයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති කරගත් ගිවිසුම සම්බන්ධයෙන් පැහැදිළිව කරුණු දක්වා ඇති බවයි.

ඒ අනුව අදාළ ගිවිසුමට අනුව චීනයෙන් උපකරණ, පුහුණුව සහ මූල්‍යමය සහයෝගය ලැබෙන බව පැහැදිඟිව ඇතැයි ද Luo Chong මහතා සඳහන් කරයි.

චීනය රටක ස්වෛරීභාවයට හා ස්වාධීනත්වය අගය කරන අතර, විදේශීය රටක අභ්‍යන්තර කටයුතුවලට බාධා නොකරන මූලධර්මය අනුව සැමවිටම කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

ඉන්දු ඇමරිකා විරෝධයක්

මේ අතර රාවය පුවත්පත වාර්තා කර ඇත්තේ ජනපතිවරයා පසුගියදා සිදු කළ චීන සංචාරය අතරතුර එළැඹි විශේෂ ආරක්ෂක එකඟතාවයන්ට ඉන්දියාව සහ ඇමරිකාව විසින් සිය අප්‍රසාදය පලකොට ඇති බවයි.

ජනාධිපතිවරයා හා චීනය අතර එළඹී ආරක්ෂක එකඟතාවයන් අතර සියලුම සන්නිවේදන කටයුතු නිරීක්ෂණය කළ හැකි තාක්ෂණයක් හඳුන්වාදීම සහ පුද්ගලයන් කරන කටයුතු නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය ලබාදීමට එකඟ වී ඇති බව වාර්තා වන බවද එහි දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top