May 25, 2019

CDSගේ ගෝල කප්පිත්තාට උසස්වීමක් දීමේ සූදානමට නාවික නිලධාරී කැරැල්ලක් Featured

බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ මුලික පුහුණුව අසමත් වී හොර සහතික සැකසීම, සමුදුර නැවේ අණදෙන්නා ලෙස සිටියදී සෙබළුන්ගේ කෑම වලින් ගසා කෑම, කොතලාවල ආරක්ෂක පීඨයේ පාඨමාලාවක් කොපිකර අසුවීම යන චෝදනා එල්ලව සිටින නාවික හමුදාවේ කොමදොරුවරයෙකුව රියර් අද්මිරාල් තනතුරට උසස් කිරීමට ගන්නා උත්සාහයක් සම්බන්ධයෙන් නාවික නිලධාරීන්ගෙන් විරෝධයක් මතුව ඇතැයි වාර්තා වේ.

මෙම උසස්වීම ලබාදීමට සූදානම්වන්නේ ඔහුට ඉහලින් ජ්‍යෙෂ්ඨ නාවික කොමදොරුවරුන් හයදෙනකු සිටිය දී බවද පැවසේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වන අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා ගේ බලපෑමක් මත මේ උසස්වීම ලබාදීමට සැරසෙන බවට ද නාවික නිලධාරීන්ගෙන් චෝදනා එල්ලව ඇති අතර අදාළ කොදෝරුවා විජේගුණරත්න මහතාගේ කිට්ටුම ගෝලයකු බවද මේ අතර වාර්තා වේ.

මෙම අසාධාරණයට එරෙහිව දූෂිත නිලධාරියාට ඉහලින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමටත් නඩුමගට බැසීමට සුදානම් වන බවත් නාවික හමුදා මුලස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගුවක් ලබාදිමේදී කොමදෝරුවරයාගේ පාසල් මිතුරෙකු වන කැබිනට් ඇමතිවරයෙකුගේ සහාය ලබාදීමට කටයුතු කිරීම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ විශේෂ අවදානය දිනා ගැනීමට ප්‍රධාන හේතුව බවද නාවික හමුදා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චෝදනා ලත් කොමදෝරුවරයාට වඩා අනෙක් නිලධාරීන් හයදෙනා සාගරයේ ද කටයුතු කර ඇති අතර ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් හයදෙනා සාගරයේ වසර 10කට වැඩි කාලයක් කටයුතු කර ඇති අතර අදාල කොමදෝරු සාගරයේ සේවය කර ඇත්තේ වසර 4ක් බවද පැවසේ.

මොහු සමුදුර නැවේ අණදෙන නිලධාරියා ලෙස සාගරයේ රාජකාරි කරද්දී නැවියන්ගේ කෑම අවභාවිත කිරිමේ චෝදනාවට එවකට නාවික හමුදාපතිධුරය හෙබවු අද්මිරාල් ජයන්ත පෙරේරා විසින් අණදෙන නිලධාරි තනතුරෙන් වහාම ඉවත් කර අවවාදත්මක ලිපියක්ද පුද්ගලික ලිපිගොනුවට දමා ඇති බවද පැවසේ.

සෙබළුන්ගේ ආහාර ගසා කෑමේ චෝදනාවට නාවික හමුදාපති වරයෙකු මොහුට එරෙහිව නිකුත් කල එම ලිපිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා නාවික හමුදාපතිව සිටියදී ඉන් ඉවත් කර ඇති බවට ද නාවික හමුදාව තුළ කතාබහක් තිබේ.

අසාධාරණයට ලක්වූ නාවිකයෝ උළුගේතැන්න ළඟට

සාගරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ ගැටෙමින් සේවය කල නාවික නිලධාරින් අවුරුදු තිස්තුනක් කල සේවය පසෙකලා හිතවත්කම් වලට උසස්වීම් දීමට ඉඩ නොදී ජ්‍යෙෂ්ඨතාවය මත උසස්වීම් දෙන්නැයි අසාධාරණයට ලක්වු නාවික නිලධාරින් හයදෙනා නාවික හමුදාවේ දෙවැනියා වු මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ට දැනුම් දී ඇත.

ඒ නාවික හමුදාපති වයිස් අදමිරාල් පියල් ද සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ අණට පිටුපෑමට නොහැකි ව මෙම නිලධාරින් ට හමුවීමට හෝ ඉඩ නොදීම නිසා බවද වාර්තා වේ.

නාවික නිලධාරීන්ගෙන් මාණ්ඩලික ප්‍රධානියට දිගින් දිගටම චෝදනා එල්ලවන අතර නාවික හමුදාවට ලැබෙන විදෙස් ශිෂ්‍යත්ව හා පාඨමාලා සඳහා ඔහුගේ ගෝලබාලයින් යවන බවට එල්ලව තිබෙන චෝදනා සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික හමුදාපතිවරු ජනපතිවරයාට පවා පැමිණිළි කර ඇති බව වාර්තා වේ.

තෙවසරකටත් වඩා අඩු කාලයක් නැවක සේවය කළ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාගේ ගෝල කපිතාන්වරයකු ඇමරිකානු පාඨමාලාවකට පිටත්කර හැරීම ඒ අතර ප්‍රධාන වේ. එම කපිතාන්වරයා මේවන විට ද අදාළ පාඨමාලාව හදාරමින් ඇමරිකාවේ රැඳී සිටින බව පැවසේ.

හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ට තවත් සේවා දිගුවක් ජනාධිපතිවරයා දීමට සුදානම් වෙද්දීත් ඔහු එය ප්‍රතික්ෂේප කර විශ්‍රාම ගොස් ඇත්තේ ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සමඟ නාවික හමුදාව පාලනය කළ නොහැකි නිසා බවට ද නාවික හමුදාව තුළ මතයක් තිබේ.

ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන් සිටින්නේ කොමදොරුවරුන් වන සුදත් කුලකුලසුරිය, උපුල් සිල්වා, සෙනරත් විජේසුරිය, රෝහිත පෙරේරා, සනත් උත්පල, ජේ.ජයතිලක , කලණ ජිනදාස යන හත්දෙනා බවද වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top