Jun 12, 2019

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ යෝජනාව ගැන රවී හෙළිකරයි Featured

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩු පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඒ සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ විපක්ෂයේ සහය ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ කරන බවට පැතිර ඇති මත අසත්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා මිරර් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයේ හෝ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහසක් නොවන බවයි.

කෙසේවුවද, ඉදිරියේදී ජනපති හා අගමැති අතර ඇති විරසක දුරු කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යන ආකාරය පෙන්නුම් කරන බවද ඔහු කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

"ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබදව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වෙමින් පවතිනවා. නමුත් අපි ඒ සදහා සුදුසුම පුද්ගලයා අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම්. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා පිළීබදව ඉදිරියේදී දැනගන්න හැකිවේව්.

පසුගියදා සියලු මුස්ලිම් ඇමතිවරුන් සිය අමාත්‍ය ධූර වලීන් ඉල්ලා අස්වුණා. ඒ පිළිබදව ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව මාධ්‍ය තුළිනුත් ජනතාවට ඉදිරිපත් කළා. ඉතින් දැන් කොහොමද කියන්නේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කලේ නැහැ කියලා. ජනතාවට බොරු කරන්න ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවක් නැහැ. අපට අවශ්‍ය වන්නේ එකමුතුභාවයෙන්, සමගිතාවයෙන් යුතුව රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි"

ආණ්ඩුව පෙරළන්න මහින්ද රනිල් සෙට් වෙලා

මේ අතර, රට තුළ පවත්නා දේශපාලන අවිනිශ්චිත බව තුරන් කිරීම සඳහා හදිසි මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර අදහස් හුවමාරුකර ගැනීමක් සිදුව ඇති බව 'ද ලීඩර්’ වාර්තා කර තිබිණි.

දුරකතය ඔස්සේ සිදුව ඇති එම සාකච්ජාවේදී කැබිනට් රැස්වීම් වර්ජනය කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කරගෙන තිබූ බවද දක්වා තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒ සඳහා සහාය දීමට විපක්ෂනායකවරයා මෙහිදී අගමැතිවරයාට සහතිකවී ඇති බවද එම වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය කර තිබිණි.

19 වන ව්‍යවස්ථා සංශෝධයට අනුව පාර්ලිමේන්තුව තේරී පත්ව වසර හතරහාමාරක් යනතෙක් එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති අතර ඊට පෙර මහ මැතිවරණයක් කැඳවීමට අවශ්‍යනම් මහ මැතිවරණයක් කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගත යුතු වේ.

ඒ යෝජනාවට අපි විරුද්ධයි - පක්ෂ විපක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු

අප පක්ෂ විපක්ෂ පසු පෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගෙන්ම මේ සම්බන්ධයෙන් විමසීම් කළ අතර ඔවුන් කියා සිටියේ මෙවැනි කාරණාවක් තමන් නොදන්නා බවත් එවැනි යෝජනාවක් පැමිණිය හොත් එයට විරුද්ධ වන බවයි.

හිටි හැටියේ පාර්ලිමේන්තු මැතිවරණවලට යා නොහැකි බව එජාප පසු පෙළ මන්ත්‍රීවරයකු පෙන්වා දුන් අතර විපක්ෂ මන්ත්‍රීවරයෙක් කියා සිටියේ මේවන විට සිය ඡන්ද ව්‍යාපරය සකසා ඇත්තේ ඉදිරි ජනපතිවරණයකට බවයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top