Jun 12, 2019

පොහොට්ටු ජනපති අපේක්ෂක ගෝඨා බව බැසිල් කියයි ! Featured

එළැඹෙන ජනාධිපතිවරණයේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඝෝඨාභය රාජපක්ෂ මහතා විය හැකි බව පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (11) මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.

ජනාධිපතිවරණය නියමිත පරිදි පැවැත්වෙනු ඇතැයි සිතිය හැකි බවද කී බැසිල් රාජපක්‍ෂ මහතා මීට පෙරද මැතිවරණ පවත්වන බවට කොමිසම විසින් සදහන් කර ඇති බවද සිහිපත් කළේය.

මේ අතර මේ පුවත බැසිල් රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය වර්ධනය කිරීමට නිර්මාණය කර ඇති Protect Basil Rajapaksa ෆේස්බුක් පිටුවෙහි ද පලකර තිබේ.

ගෝඨාගේ බාධක අවසන්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා කළ ඉල්ලීම එරට රජය විසින් පිළිගෙන ඇති බවට ද මේවන විට මාධ්‍ය වාර්තා පලව තිබේ.

ඒ සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැතත් යම් අවස්ථාවක මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළහොත් ඇමරිකානු තානාපති කාර්යාලයෙන් එය නිලවශයෙන් දැනුම්දීමට නියමිත බවද ඒවායේ දැක්වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හා ඇමරිකාවේ ද්විත්ව පුරවැසියකු වීම හේතුවෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඔහුට ජාතික මැතිවරණයට ඉදිරිපත්වීමේ සුදුසුකම ඇහිරී තිබු අතර එම තත්වය යටතේ ඔහු සිය ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීම සඳහා පසුගියදා ඇමරිකාවට ගොස් ඊට අදාල නීතිමය පියවර ගෙන තිබිණ.

ගෝඨා රෝහලෙන් ගෙදරට

මේ අතර, පසුගියදා හෘද සැත්කමකට මුහුණ දුන් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේවන විට සුවය ලබා ඇති බව වාර්තා වේ.

එසේම ඔහු ප්‍රතිකාර අවසන්ව සිංගප්පූරුවේ ඔහු නවාතැන් ගෙන සිටින නිවසට ගොස් ඇති බවට ද වාර්තා පල වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් පිටුවේ වෘත්තීයවේදීන් දේශපාලනයට සම්බන්ධ නොවිය යුතු බවට ඇති ආකල්පය බැහැර කිරීමට කාලය පැමිණ ඇති බවත්, ඊට ප්‍රතිපක්ෂව, ඔවුන්ගේ විශේෂඥ දැනුම ජාතිය ගොඩනැගීම උදෙසා යොදාගැනීම අත්‍යවශ්‍ය බවද එහි දැක්වේ.

ජුනි 05 වැනිදා සිට ජුනි 10 වැනිදා දක්වාම අදාළ ෆේස්බුක් පිටුවේ කිසිදු සටහනක් දක්නට නොවීමද විශේෂ සිද්ධියකි.

ඒ මහතා අදාළ ශෛල්‍යකර්මයට භාජනය කරනු ලැබුවේ ජුනි 05 වැනිදා බව පැවසේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top