Jun 12, 2019

ISIS වැඩ ගැන ගෝඨාට 2014 ලිව්වා, හේමසිරිට 2019 CD දුන්නා - රිස්වි මවුලවි Featured

පළමු වරට ISIS සංවිධානය පිළිබඳ සිතිවිලි ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ අලුත්ගම ඇති වූ කලහකාරී සිදුවීම්වලින් පසුව බව සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සභාපති එම්.අයි.එම්. රිස්වි මවුලවිතුමා කියයි.

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉදිරියේ ඊයේ (11) සාක්ෂි ලබා දුන් මවුලවිතුමා, ශ්‍රී ලංකාව තුළ හලාල් සහතික නිකුත් කිරීම නව හඳුන්වා දීමක් බව ද අනාවරණය කළේය.

2019 ජනවාරි මාසයේ දී සහරාන් සම්බන්ධව CD තැටියක් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට භාර දුන් බව ද රිස්වි මවුලවිතුමා පැවසීය.

ඔහු තවදුරටත් කියා සිටියේ එම CD තැටිය භාරදීමෙන් අනතුරුව ඒ පිළිබඳව කිසියම් ක්‍රියා මාර්ගයක් ගත්තේ දැයි එවකට ආරක්ෂක ලේකම්වරයා තමන් දැනුවත් නොකළ බවය.

2014 වසරේ ජූලි මස 4 වැනිදා මෙරට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් මෙම කණ්ඩායම සිදුකරණ වෛරී ප්‍රකාශ සම්බන්ධව දැනුවත් කළ බවද ඔහු එහිදී කියා සිටියේය.

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම් සහ ශුද්ධ වූ අල් කුර් ආනය සම්බන්ධව සිදුකරණ අසත්‍ය මත පැතිවරවීම හේතුවෙන් මෙම ඉස්ලාම් ආගමික අන්තවාදී කණ්ඩායම් පැන නැගුණු බව මව්ලවිතුමා ප්‍රකාශ කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top