Jun 13, 2019

චිත්‍රපටි සංස්ථාවේ OT බිල ලක්ෂ 9යි : අලුත් හෝල් හීනෙටත් අබ සරණයි Featured

ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ මාර්තු මාසයේ අතිකාල දීමනා වියදම රුපියල් නමලක්ෂය හැත්තෑ දෙදහස ඉක්මවා ඇති බව වාර්තා වේ.

කෙසේවුවද, එම සංස්ථාවේ සේවය කරනු ලබන සේවකයින්ට පෙරවරුවේ සිට සවස 4.30 දක්වාවත් කිරීමට වැඩක් නොතිබියදී මෙවැනි අතිකාල බිලක් වැටීම සම්බන්ධයෙන් කලා කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ චිත්‍රපට සංස්ථාව පාලනය වන අතර පසුගිය කාලයේ අතිකාල සේවයේ යෙදුණු නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම්ද සපයා ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චිත්‍රපට කර්මාන්තය නැංවීමට අත්‍යවශ්‍ය අංශයක්ව පවතින අලුතින් චිත්‍රපට ශාලා ඉදිකිරීම් කටයුතු මේවන විට පෞද්ගලික ආයෝජකයින් සම්පූර්ණයෙන්ම අත්හැර දමා ඇතැයි වාර්තා වේ.

වසර 2019 ට එවැනි අයදුම්පත්‍ර එකක් හෝ ලැබී නොමැති බවද පැවසේ. ඒ නිවාස, ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙතෙක් අලුතින් සිනමා ශාලාවක් ආරම්භ කිරීමේදී ඒ සඳහා මත්පැන් බලපත්‍රයක් ලබාදීමේ ක්‍රමය අහෝසිකර දැමීම නිසාය.

කලා කේෂත්‍රයේ ප්‍රවීනයෝ කිහිපදෙනෙකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේ පසුගිය කාලයේ සිනමා ශාලා ආරක්ෂාවී තිබුණේ ඒවාට ලබාදී තිබූ මත්පැන් අලෙවි බලපත්‍ර නිසා බවයි.

කොළඹින් පිට බොහෝ සිනමා ශාලාවල මාසික ප්‍රවේශපත්‍ර ආදායම රුපියල් 80,000/-ක් පමණ වෙද්දී ඒවාට අයත්ව තිබූ බාර්වල ශද්ධ ආදායම රුපියල් 250,000 ඉක්මවූ බවයි. ඒ අනුව එම සිනමා ශාලා මෙතෙක් රැකුණේ බාර් නිසා යැයිද ඔවුහු පැවසූහ.

අමාත්‍යවරයා සංස්කෘතිය රකින්නැයි කියමින් අලුතින් ඉදිකරණ සිනමා ශාලාවලට ලබාදුන් මත්පැන් අලෙවි බලපත්‍රය අහෝසි කරද්දී, ඔහුට රටේ ගැහැණු දරුවන් බිලි ගන්නා දිනෙන් දින වැඩිවන ස්පා නොපෙනෙන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

කෙසේවුවද, ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවූයේ දිවයිනේම ඇති සිනමා ශාලා ප්‍රමාණය 175කට නොවැඩි වන බවත්, ඒවායින් මත්පැන් බලපත්‍ර ඇත්තේ 35කට පමණක් බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top