OPEN

#

OPEN

#

Jun 16, 2019

පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු සනාථ නොකළ බවට පුවත් වාර්තාවක් Featured

අප්‍රේල් 21 වැනිදා සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශයට ලැබුණ තොරතුරු නිශ්චිතව තහවුරු වී නැති බවට රාජ්‍ය බුද්ධි අංශ සේවාවේ ප්‍රධානියා අප්‍රේල් 09 වැනිදා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දැනුම් දුන් බවට ආන්දෝලනාත්මක තොරතුරක් සතිඅන්ත පුවත්පතක් හෙළිකර තිබේ.

එහිදී අදාළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන වගකිවයුත්තා වන සහරාන් හෂීම් අදාළ ප්‍රහාරවලදී කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවට රාජ්‍ය බුද්ධි අංශය නිශ්චිතව තහවුරු කර නැතැයි වාර්තා වේ.

රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා මෙම කරුණු විස්තර කරමින් අප්‍රේල් මස 09 වැනිදා පොලිස්පතිවරයා වෙත පිටු දෙකක විශේෂ රහස්‍ය බුද්ධි වාර්තාවක් සපයා ඇතැයි ද එහි දැක්වේ.

වර්ෂ 2016 සිටම සහරාන් අන්‍ය සියලු ආගමිකයන් ඝාතනය උතුම් ආගමික කරුණක් බවත් අන්‍යාගමිකයන් විනාශ කරමින් ඉස්ලාමය ප්‍රවර්ධනය කළයුතු බවටත් සඳහන් කොට සමාජ ජාල හා ආගමික දේශන හරහා සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කළ බවත් සඳහන් කර ඇත.

එහෙත් මේ සියලු තොරතුරු පොලිස්පතිට වාර්තා කළ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිය අවසාන නිගමනය ලෙස සඳහන් කර ඇත්තේ කතෝලික පල්ලි හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවට නිශ්චිත තොරතුරු නිරීක්ෂණය වී නොමැති බව යැයි ද පුවත්පත වාර්තා කර ඇත.

මෙම අති රහස්‍ය බුද්ධි වාර්තාව සපයා දින 12කට පසු සහරාන්ලා සිය මරාගෙන මැරෙන ප්‍රහාරය දියත් කළෝය. එයින් පුද්ගලයන් 250කට අධික පිරිසක් ඝාතනය වී 500කට අධික පිරිසක් තුවාල ලදහ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top