Jun 17, 2019

ජනපති කැබිනට් එකට ගේන්න කතාදාන ඇමතිලා : කථානයක ජනපතිට වූ පොරොන්දුව Featured

හෙට (18) පැවැත්වෙන කැබිනට් රැස්වීම සඳහා ජනපතිවරයා ගෙන්වා ගැනීමට සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පත්ෂයේ ප්‍රබල අමාත්‍යවරු දෙදෙනෙකු මැදිහත්වී ඇතැයි වාර්තා වේ.

මෙසේ මැදිහත්වූ එක් අමාත්‍යවරයකු වන රවී කරුණානායක මහතා "තමා සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න පසුගිය සතියේ ජනාධිපතිවරයා හමුවී සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවත්, සුපුරුදු පරිදි කැබිනට් රැස්වීමට සහභාගී වන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේ තමන්ට දැනුම් දුන් බවත් බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පවසා තිබේ.

එසේම,"අපේ අරමුණ වුණේ සුහදතාව වර්ධනය කරගැනීම,” යැයිද අමාත්‍ය කරුණානායක මහතා පවසා තිබේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාකච්ඡා කෙරෙන කාරණා කෙරෙහි නොසතුට දක්වමින් ජනාධිපතිවරයා පසුගිය අඟහරුවාදා (ජුනි 11) සතියකට වරක් පැවැත්වෙන කැබිනට් රැස්වීම කැඳවීමෙන් වැලැකී සිටියේය.

මේ අතර, ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට නොපැමිණීම ගැන බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත්තේ, "ප්‍රජාතන්ත්‍රවාදය තුළ සාමූහික වගකීම කියන දේ ගොඩක් වැදගත්. රටේ තීන්දු සාමූහිකව ගැනීම සඳහා විධායකය හමුවන ස්ථානය කැබිනට් රැස්වීමයි," යනුවෙනි.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කථානායක කරු ජයසුරිය පසුගිය මාසයේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළේය.

එහි සභාපතිවරයා වශයෙන් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පත් කළ අතර සෙසු සාමාජිකයින් වන්නේ රවුෆ් හකීම්, රවී කරුණානායක, රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අශු මාරසිංහ, ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන්, සහ නලින්ද ජයතිස්ස ය.

එම කාරක සභාවේ ප්‍රථම සාක්ෂි විමසීම මැයි 29 වෙනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

නමුත් එම කාරක සභාවේ සාකච්ඡා කෙරෙන කරුණු ගැන විරෝධය පළ කළ ජනාධිපතිවරයා තමන් කැබිනට් රැස්වීමට සහභාගි නොවන බව පසුගිය සිකුරාදා (ජුනි 07) පැවති විශේෂ කැබිනට් අමාත්‍ය හමුවේ දී පවසා තිබිණි.
ඔහු එහිදී පවසා තිබුණේ, තමන් යටතේ සිටින කිසිදු නිලධාරියෙකු විශේෂ කාරක සභාව හමුවට නොඑවන බවය.

මෙම විශේෂ කාරක සභාව ඉදිරියේ අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර අප්‍රේල් 21 ප්‍රහාර පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබු බව පිළිගත්හ.
පූජිත් ජයසුන්දර තව දුරටත් පැවසුවේ බෝම්බ ප්‍රහාර සිදුවීමෙන් පසු ජනාධිපතිවරයා තමාට "වගකීම භාරගෙන සේවයෙන් ඉල්ලා අස්වන" ලෙස බලපෑම් කළ බවය.

Malalgoda reportමලල්ගොඩ කමිටු වාර්තාව ජනාධිපති මෛත්‍රිපාලට භාරදෙන අවස්ථාවමලල්ගොඩ කමිටු වාර්තාව

මේ අතර අප්‍රේල් 21 වෙනිදා සිදුවූ ප්‍රහාර වලට හේතු වූ කරුණු සහ එහි පසුබිම සොයාබලා වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ත්‍රිපුද්ගල කමිටුවක් අප්‍රේල් 22 වෙනිදා පත් කරන ලදි.

එහි සභාපතිවරයා වශයෙන් විනිසුරු විජිත් මලල්ගොඩ පත්කරන ලද අතර සෙසු සාමාජිකයින් වූයේ හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පතිවරයෙකු වන එන් කේ ඉලංගකෝන්ය.

මෙම කමිටුව සිය වාර්තාව පසුගිය ජුනි 10 වැනිදා ජනාධිපතිවරයාට භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

නමුත් එහි අඩංගු කරුණු මෙතෙක් මාධ්‍යට හෙළි කර නොමැත.

ඊට පෙර එම කමිටුව අතුරු වාර්තා දෙකක් ද භාරදී තිබිණි.

ජනපති කැබිනට්ටුවට එන්න කරූගෙන් ගත් පොරොන්දුව

මේ අතර, ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තාවන්නේ බුද්ධි අංශ නිලධාරීන් හෙළි නොවන ආකාරයට, මාධ්‍ය නොමැතිව සාක්ෂි විමසීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එකඟ වී ඇතැයි
කතානායකවරයා ජනපතිට දැනුම් දී ඇති බවත්, මේ අනුව ලබන අඟහරුවාදා (18) කැබිනට් මණ්ඩලය රැස් කිරීමට ජනපතිවරයා එකඟවී ඇති බවයි.

කතානායකවරයා, ජනාධිපතිවරයා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top