Jun 22, 2019

"මුං කාට ජාතක වෙලාද?” ගෝඨා පෝද්දල ජයන්තට දෙසූ හැටි Featured

මහින්ද රාජපක්ෂ මහතා රට පාලනය කරන සමයේදී ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවකට වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්වරයාව සිටි පෝද්දල ජයන්ත මහතා සිය කාර්යාලයට කැඳවා කළ තර්ජනය සතිඅන්ත පුවත්පතකට හෙළිකර තිබේ.

ගෝඨාගේ කාර්යාලයට තමා හා සනත් බාලසූරිය රැගෙන ගියේ එවකට ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටි බන්දුල පද්මකුමාර මහතාගේ මෝටර් රථයෙන් බවද ඔහු හෙළි කර ඇත.

එදා ගෝඨාගේ කාර්යාලයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ එවකට ප්‍රධානියාව සිටි ලක්ෂ්මන් හුළුගල්ල මහතා ද සිටි බවද ඔහු කියා තිබේ.

උපුටා ගැනීම…

"උඹලා දෙන්න තමයි මේවා සංවිධානය කරන්නෙ. මේවා සුනන්ද කියන බල්ලා පිටරටවලට යනවා" කියලා කිව්වා. නැවැත්තුවේ නැත්නම් බලාගන්න පුළුවන් කියලා කිව්වා. අපි ඇහුවා නැවැත්තුවේ නැත්නම් මොනවද කරන්නේ කියලා. ඒ වැඩේ ඒ ඒ තැන්වලින් බලා ගනීවි කියලා අපේ මූණටම කිව්වා.

කුනුහරුපෙන් අපිට බැන්නා. එත් අපි ඒ හැමදේටම උත්තර දුන්නා.. සමහර දේවලට සනත් උත්තර දුන්නා. තවත් ඒවට මම උත්තර දුන්නා. ඔහුට ඒ ප්‍රති උත්තර බැඳීම දරාගන්න බැරි වුණා. මොකද රටේ බලවත්ම මිනිස්සු පවා එයාට සර් කියාගෙන නැවෙනවා. අපි එහෙම නැතිව උත්තර බඳිනවා. මේක දරාගන්න බැරිම තැන ඔහු ලක්ෂ්මන් හුළුගල්ලේ දෙසට හැරිලා කිව්වා. “ මුන් කාට ජාතක වෙලාද දන්නෙ නැහැ” කියලා.

මම නැගිට්ටා. මම කිව්වා මගේ අම්මයි තාත්තයි කුඹුරු කොටනවා. තේ දළු කඩනවා. අපි දුප්පත්. ඒත් අපි මැදමුලනේ වළං හෝදල නෑ කියලා. අපි යමු යන්න සනත් මෙයත් එක්ක කතාවක් නෑ කියා කියලා කිව්වා. සනතුත් නැගිට්ටා අපි එළියට බැස්සා ඒකෙන් පස්සෙ අපි කොටුව පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියා ඒ පැමිණිල්ල භාර ගත්තේ වත් නැහැ. ඒ සිද්දියෙන් මාස කිහිපයකට පස්සේ තමයි මාව පැහැරගත්තේ.

උපුටා ගැනීම අවසන්

Poddala Jayanthaපෝද්දල පැහැරගෙන ගොස් මග දමා සිටියදී සොයාගෙන රෝහලට ඇතුළු කිරීමට ගෙනයන අවස්ථාවේ ගත් ඡායාරූපයකි...පොද්දල ජයන්ත මහතා සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදී අතපය ගැට ගසා අංගොඩ ප්‍රදේශයේ අදුරු මාර්ගයක අත්හැර දමාගොස් තිබියදී සොයාගෙන තිබිණි.

පසුව ඔහු ලංකාව අත්හැර ගොස් රාජපක්ෂ පාලනය අවසන්වන තෙක් විදෙස් රටක ජීවත් විය.

ඔහුව පැහැරගෙන ගොස් දුන් වද හිංසා හේතුවෙන් ඔහු තාමත් පීඩා විඳින අතර, ඔහුට පහරදී ඔහුගේ කකුල තැන් දෙකකකින් කඩා දමා තිබේ. වළළුකරින් කඩා දැමීම හේතුවෙන් ඔහුගේ කකුලට යකඩ පට්ටම් යොදා ඇති බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top