Jun 26, 2019

දංකොටුව පොළෙන් මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉවත් කිරීම අධිකරණයට යයි Featured

දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්දන් තාවකාලිකව ඉවත් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා මහතා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ ලිඛිත ඉල්ලීම සම්බන්ධයෙන් සමාජ කතිකාවක් මතුව තිබේ.

සභාපතිවරයා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම ලිඛිත දැනුම් දීම කර ඇත්තේ පසුගිය ජුනි 24 වැනිදාය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පතා ඇති අතර ඔවුන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර පසුව අධිකරණයේ සහය පතා තිබේ.

ඒ අනුව ලබන 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය පවසයි.

කේ.වී. සුසන්ත පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෙකි.

සුරවීර මහතා පවසන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු දංකොටුව සතිපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබු බවයි.

එබැවින් මුස්ලිම් ප්‍රජාව වෙළෙඳාම් සඳහා එහි පැමිණීම ගැන ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ, ජනතාවගේ සහ වෙළෙඳුන්ගේ දැඩි විරෝධයක් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු බීබීසී සිංහල සේවය සමඟ ප්‍රකාශ කර ඇත.

Wennappuwa Letter

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව දංකොටුව සතිපොළට නොපැමිණි අතර ඔවුන් නැවත ගෙන්වා ගෙන ඇත්තේ පොලිසිය මැදිහත්වීමෙනි.

දංකොටුව ස්ථානාධිපතිවරයා කියන්නේ පාස්කු දින ප්‍රහාරයත් සමග දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීමට මුස්ලිම් වෙළද ප්‍රජාවට ගැටලු ඇති බවට පොලිස් සහන මැදිරියට ලැබුණු පැමිණිලි මත ඔවුනට දංකොටුව සතිපොළේ වෙලදාම් කිරීමට අවශ්‍ය ආරක්ෂාව තමා සැපයූ බවයි.

මුස්ලිම් ව්‍යාපාර ගැන අස්ගිරි මහනාහිමි ප්‍රකාශය, බුදු දහම සහ සමාජ මාධ්‍ය ජාල ප්‍රතිචාර වැනි කාරණා නිසා ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ බවද සභාපතිවරයා සඳහන් කර තිබේ.

ජනතාවගෙන් ලැබුණු ලිඛිත ඉල්ලීම මත දංකොටුව සතිපොළෙහි වෙළෙඳාම් සිදුකරන මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව තාවකාලිකව එම කටයුතුවලින් ඉවත් කරන ලෙසට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් පොලිසියට ලිඛිතව දැනුම් දීමක් ලැබුණු බවද ඔහු කියා සටී.

"මම මේ තීරණය ගත්තේ තාවකාලිකව. ලබන 10 වෙනිදා සියලු ආගමික නායකයන් හා ජනතාව හා දේශපාලකයන් ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡාවක් තියනවා. ඒ වගේම මේ පිළිබඳව ලබන මහා සභාවේ කතා කරනවා. ඒ අවස්ථාවේදී මේ පිළිබඳව ස්ථිර තීරණයක් ගන්න පුළුවන්. ලොකු ගැටුමක් නවත්වා ගැනීමක් තමයි මම කළේ. මට ලැබුණු පෙත්සම් මාධ්‍යට ලබා දිය හැකියි,” යැයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top