Jun 27, 2019

තාජුඩීන් නඩුවට අනුරට අධිචෝදනා භාරදීම අද Featured

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කල බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව අද (27) කැඳවීමට නියමිතය.

ඊට පෙනී සිටින ලෙස දක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අනුර සේනානායක මහතාට මේවන විට සිතාසි නිකුත් කර තිබේ.

නීතිපතිවරයා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ගොණු කර ඇති අධි චෝදනා පත්‍ර අද (27) දිනයේදී භාරදීමට නියමිතය.

2012 මැයි මස 12 වැනිදා හෝ ඊට ආසන්න කාලයේදී ඝාතනය කළ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යනුකූලව දඬුවමෙන් ආරක්‍ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයු බවට සහ මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වුවහොත් මරණීය දඬුවමෙන් දඬුවම් ලැබිය හැකි බව දනිමින් එම අපරාධයේ වරදකරුවන් ආරක්‍ෂා කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශනවලදී හෙළි වු තොරතුරුවලට අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අමතරව නාරාහේන්පිට පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුමිත් චම්පික සහ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලෙස කටයුතු කළ, සයිටම් ආයතනයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආනන්ද සමරසේකර යන මහත්වරුන් සැකකරුවන් ලෙස නම් කොට සිටි අතර නීතිපතිවරයා විසින් මෙලෙස නඩු පවරා ඇත්තේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව පමණක් වීමද විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් මුලින් නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා හමුවේ නඩු පවරා තිබු අතර එම නඩුව ඉල්ලා අස්කරගත් නීතිපතිවරයා ඉන්පසුව කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ මෙම නඩුව පවරා ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top