Jun 27, 2019

අකිලිට එරෙහිවූ මලින්දට රස්සාව නැතිවෙයි : කොමසාරිස් බේරුණේ දිවුරුම් ප්‍රකාශයෙන්? Featured

තමාගේ ඡායාරූපයක් පාසල් පෙළ පොත්වල මුද්‍රණය කිරීම සඳහා මුදල් වැය වූ බවට අධ්‍යපාන ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ධුරයේ රාජකාරි ආවරණය කළ අයි.එම්. කේ.බී ඉලංගසිංහ මහතා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (26) අවධාරණය කර තිබේ.

ඒ අදාළ කාරණාව දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීය.

ඇමතිවරයා ඉලංගසිංහ විසින්ද ලබා දුන් දිවුරුම් පෙත්සමක් ද ඊයේ (26) මාධ්‍ය වෙත ලබා දුන්නේය.

මේ අතර, කාරියවසම් මහතා කියා සිටියේ ඉලංඟසිංහ මහතා පෙළ පොතට කවියක් යොදා තව පිටුවක් වැඩිවී ඇති බවයි.

ඉලංගසිංහ මහතා තවදුරටත් අමාත්‍යංශයේ තනතුරක් හොඹවන බැවින් එම මාධ්‍ය හමුවට සහභාගී කර නොගන්නේ මන්දැයි ද, ඒ මහතා අදාළ තනතුරෙන් ඉවත් කරන්නේ දැයි එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ තමා එලෙස ඔහු ගෙන්වීම වරදක් බවයි. කෙසේවුවද, ඉලංගසිංහ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් මේ වන විට බාරදී ඇති බව ආමාත්‍යවරයා කියා සිටියේය.

ඒ ඉලංගසිංහ මහතා සැපැයුම් අධ්‍යක්ෂවරයා ලෙස සිටියදී 2017 මැයි 16 වැනිදා සිදුකර ඇති වරදක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව යැයිද ඔහු කීය.

මලින්ද

කෙසේවුවද, ලංකා ගුරු සංගමය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඔහුට එරෙහිව සාක්ෂිදෙන හා පැමිණිලි කරන අධ්‍යාපන අමාත්‍යංශයේ පුද්ගලයන් දඩයම් කරමින් සිටින බව ජනාධිපති කොමිසම වෙත ලිපියක් යවමින් කියා සිටී.

මේ සම්බන්ධයෙන් එහි ලේකම් ජෝසප් ස්ටාලිං මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ සුරක්ෂා රක්ෂණය හා ටැබ් පරිගණක ගනුදෙනුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට පැමිණිලි කළ රාජසිංහ විද්‍යාලයේ සේවය කළ මාලිංද රාජපක්ෂ මහතාට ඉකුත් 29 වැනිදා දඩුවම් මාරුවක් ලබාදී ඇති බවයි.

ඒ සිරස මාධ්‍යට ප්‍රකාශයක් ලබාදීම මුල්කර ගනිමින් බවද ඔහු කීය.

ඔහු වෘත්තීය සමිති නායකයකු වන අතර ඔහුට මාධ්‍යට අදහස් දැක්වීමට අයිතියක් ඇති බවද ස්ටාලිං මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ඔහු මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බවත්, මේ වන විට අදාළ නිලධාරියා සේවයට වාර්තා නොකළේයැයි චෝදනා කරින් ඔහු සේවයෙන් පහ කර ඇති බවට ද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා චෝදනා කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top