Jul 01, 2019

GSP+ නොදෙන බව යුරෝපා සංගමය තර්ජනය කරනවා - ජනපති Featured

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළහොත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබා නොදෙන බව සඳහන් කරමින් යුරෝපා සංගමය තර්ජනය කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය වූ අද (01) දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති සමාප්ති උත්සවය අමතමිනි.

“එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාද මට දුරකථනයෙන් කතා කොට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඩුවම දීමට මා ගත් තීරණය ගැන මගෙන් විමසුවා.මා එතුමාට මෙරටේ මත්ද්‍රව්‍ය නිසා සිදුවන විනාශය පැහැදිලි කර දුන්නා”.

යුරෝපා සංගමය පවසා තිබෙනවා මරණ දඩුවම ක්‍රියාත්මක කළොත් ජී.එස්.පී සහනය නතර කරන බව එය ස්වාධීන රටකට කරන තර්ජනයක්.මොන තර්ජන ආවත් මම මේ තීරණය වෙනස් කරන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය.

මෙහිදී තවදුරටත් කතාකළ ජනාධිපති සිරිසේන මහතා තමා පසුගිය අප්‍රේල් 3 දා තමන් පාසල් දරුවන්,රාජ්‍ය නිළධාරින් හා ව්‍යාපාරික අංශ සම්බන්ධ කරගෙන මත්ද්‍රව්‍ය විරෝධී වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාත්මත කළ බවත් එහිදී බක්මහ දිවුරුම නමින් මත්ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රතිඥාවක්ද දුන් බවත් එහෙත් අප්‍රේල් 21 දා බෝම්බයක් සමඟ ඒ සියල්ල විනාශ වී ගිය බවත් සඳහන් කළේය.

“ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.ඒ නිසා අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොහෙන් හෝ සම්බන්ධ සම්බන්ධ යැයි මා කියනවා”යැයිද ඒ මහතා තවරදුරටත් කීය.

වතුර බෝතලේට වඩා බියර් බෝතලේ ගාන අඩුයි

පසුගිය කාලයේ බියර් සඳහා වු මිල ගණන් විශාල වශයෙන් අඩු කළ බව ද පවසා සිටි ජනාධිපතිවරයා, ඒ නිසාවෙන් වතුර බෝතල්වලට වඩා බියර් බෝතල් ලාබ වී ඇති බව පැවසීය.

කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ කාන්තාවන් වැඩි වශයෙන් බියර් පානය කිරීමට හා වයින් පානයට යොමුව ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා ඒ තුළින් දුම්වැටි හා ගංජා වැනි මත්ද්‍රව්‍ය පාවිච්චියට ද යොමු වන බව කියා සිටියේය.

අනෙක් මත්ද්‍රව්‍ය සඳහා යොමු වන්නේ ද මෙවැනි පානයන් තුලිනුයි, මත්ද්‍රව්‍ය හේතුවෙන් වසරකට 50000 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර ගත වනවා, එයින් සෑහෙන පිරිසක් කාන්තාවන් වන බව ද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බිලියන 50කට අධික ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කළේය.

පාසල් දරුවන් ඉලක්ක කර නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරිනවා

මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රධාන වශයෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බව ද පැවසු ජනාධිපතිවරයා, කොළඹ ඇතුළු සියලු රජයේ හා ජාත්‍යන්තර පාසල්වලත් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළත් මෙම ප්‍රවණතාවය දක්නට ඇති බව පැවසීය.

නොමිලේ ලබා දීමෙන් පාසල් දරුවන් නොදැනුවත්වම මෙම මත්ද්‍රව්‍යවල ගොඳුරක් වී ඇතැයි ද කියා සිටි ජනාධිපතිවරයා, ජාතියක අනාගතය දරුවන් බවත් එය විනාශ කරන හොඳම දේ මත්ද්‍රව්‍ය බවත් කියා සිටියේය.

අපි ඉතිහාසයේ ජයග්‍රහණ ගැන කථා කර ඉතිහාස මතකයන් තුළින් සතුටු වන ජාතියක් බවත් අද කරන දේවල් ගැන සතුටු වීමට ප්‍රමාණවත් නොවන බව ද සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top