Jul 03, 2019

"UNPයට ජනපති සටන දිනන්න හැකි නිර්භය නායකයාගෙන් පමණයි" Featured

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර ජනපතිවරණය ජයගත නොහැකි බව ප්‍රවීන දේශපාලන විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා කියයි.

ඒ මහතා සිය ෆේස්බුක් පිටුවේ යොදා තිබූ සටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය. (අදාළ ෆේස්බුක් සටහන පහත දැක්වේ.)

කරුණු කිහිපයක් හේතුවෙන් තමා මේ අදහසට එළඹ ඇති බවද ඔහු කියා සිටියේය.

පෙරේරා මහතා කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කය හෝ සැලැකිය යුතු අයුරකින් ජයගත නොහැකි සජිත් ප්‍රේමදාස මහතාට ජාතික මැතිවරණයක් ජය ගතහැකිද යන්න ගැටලුවක් බවයි.

KusalPerera 670px 29 08 17හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 7 දෙනෙකු පැමිණෙන බවත්, සජිත් එහි එජාප සංවිධායකයා වූ දින සිට අවම වශයෙන් එජාපයෙන් මන්ත්‍රීවරු තිදෙනෙකු හෝ පාර්ලිමේන්තුවට යැවීමට ඔහුට නායකත්වය දිය නොහැකි වූ බවද ඔහු කියා සිටියේය.

ඊට පෙර එම ආසනය සංවිධානය කළ එජාප සංවිධායකයින් එජාප මන්ත්‍රීවරුන් තිදෙනෙකු පාර්ලිමේන්තුවට යැවූ අවස්ථා ඇති බවද ඔහු සඳහන් කළේය.

එසේම, සජිත් කිසිදිනක සැබෑ ජාතික ප්‍රශ්න ගැන කතා කළ අයකු නොවන බවත්, ඔහුට ජාත්‍යන්තර පිළිගැනීමක් නොමැති බවත් ඒ මහතා කියා සිටියේය.

සුළු ජාතින් අතර ද ඔහුට එතරම් ප්‍රසාදයක් නැතැයි කී හෙතෙම වසර ගණනාවක් සිරස මාධ්‍ය ජාලය ඔහුට සහය දුන්නද සජිත්ට ඡාතික නායකයුකු වීමට නොහැකි වූ බවද හෙතෙම පැවසීය.

සජිත්ට ජනපතිවරණය ජය ගැනීමට නම් ලබාගතයුතු ඡන්ද ගොඩ ගැන නිරීක්ෂණයක් කළ ද ඔහු හා ඉදිරි මැතිවරණයට පැමිණෙන රාජපක්ෂ පවුලේ සාමාජිකයකු අතර බෙදී යා යුත්තේ සිංහල බෞද්ධ ඡන්ද බවත්, එනිසා ඔහුට රාජපක්ෂ පවුලේ සාමාජිකයකුට වඩා සිංහල බෞද්ධයකු විය නොහැකි බවද ඒ මහාත පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස යනු වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොඩි මොඩ්ල් එකක් මිස වෙන බලාපොරොත්තුවක් තැබිය හැකි අයකු නොවන බවයි.

මංගල ද මෑන්

කෙසේවුවද, එජාපයට ඉදිරි ජනපතිවරණය දිනා ගතයුතුම නම් එයට හරියටම හරියන අපේක්ෂකයා එජාපයේ සිටින නිර්භය නායකයා මංගල සමරවීර ඇමතිවරයා බවද ඔහු කියා සිටියේය.

ඒ ඔහු පසුගිය කාලයේදී ගත් ස්ථාවරයන් වෙනස් නොවන ලෙස පවත්වාගෙන යාමත්, බොහෝ විට එජාප ඡන්දය බුද්ධිමතුන් මත දෝලනය වන්නක් බැවිනුත් ඔහුට හොඳ අවස්ථාවක් ඇතැයි කියා සිටියේය.

එසේම ඔහුට සුළු ඡාතීන්ගේ ඡන්ද ද දිනා ගැනීමට හැකි බව කී ඔහු වඩාත් වැදගත්වනුයේ ඔහු රාජපක්ෂ කණ්ඩායමට ප්‍රතිවිරුද්ධ මත දරණ ප්‍රධානියකුවීම බවද කියා සිටියේය.

ඔහු ජනපතිවරණ අපේක්ෂකයාවුවහොත් ඔහු වටා රාජපක්ෂ විරෝධීන් පෙළ ගැසෙන බවද කුසල් පෙරේරා මහතා පැවසීය.

O/L අසමත් කවුද ?

මේ අතර, එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක මහතා ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එජාපයේ මීළඟ ජනපති අපේක්ෂකයා අපොස සාමාන්‍ය පෙළ සමත් අයෙකු වන බවයි.

එසේම ඔහු ඡාත්‍යන්තරයට රට ගෙනයා හැකි අයෙකු වන බවත් කරුණානායක මහතා පැවසීය.

සබැදි පුවත්
ජූලි 07 දා මංගලගේ වේදිකාවෙන් සජිත් ජනපති සටන අරඹයි?

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top