Jul 05, 2019

මුස්ලිම් විවාහ නීතිය අහෝසි විය යුතුයි - ශ්‍රීන් අබ්දුල් සරූර් Featured

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් අධි වරප්‍රසාධිත මුස්ලිම් පිරිමියා අහෝසි වී යන බව සමාජ ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් අබ්දුල් සරූර් මහත්මිය කියා සිටී.

ඇය වැඩිදුරටත් මෙසේද කියා සිටී.

" මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිරිමින්ට අසීමිත බලයක් ලැබිලා තියෙනවා. දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඔවුන්ට ලැබිලා තියෙනවා. විවාහ හතරක් කර ගැනීමේ අයිතිය තියෙනවා. ඇත්තටම මුස්ලිම් නීතියට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන නිසා හතරක් නෙමෙයි කැමති ගණනක් විවාහ කරගන්න පුළුවන්. සියලු තීන්දු තීරණ ගන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේ නීතිරීති හදන්නෙ සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ පිරිමි විතරයි. ඉතින් ඒවා වෙනස් කරන්න ඕන.”

මේ නීති වෙනස් කිරීමට අකමැත්තක් දක්වන්නේ මුස්ලිම් සමාජය නොවන බවත්, එසේ අකමැත්තක් දක්වන්නේ මුස්ලිම් පිරිමියා බවටත් ඇය චෝදනා කර සිටී.

ඔවුන් ඊට අකමැති වන්නේ ඒවා අහෝසි වීමෙන් ඔවුන්ට තියෙන අධි වරප්‍රසාදිත ජීවිතය අහිමි වෙන බැවින් යැයි ද ඇය සඳහන් කළාය.

මේ රට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මිස ශ්‍රී ලංකා සිංහල ජනරජය නොවන බවද අවධාරණය කරන ඇය සුළුතර ජනතාවන්ගේ අයිතීන් බහුතර ජනතාව පිළිගත යුතු බවද කියා සිටියාය.

එක රටක් රක නීතියක් කියන සංකල්පයේ ගැටලු ඇති බව පවසන ශ්‍රීන් එය එක රටක් එක අධිකරණ පද්ධතියක් ලෙස නිවරදි විය යුතු යැයිද කියා සිටී.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය මෙසේ ද කියා සිටී “ නීති වර්ග ගොඩක් තියෙන්න පුළුවන්. මුස්ලිම් නීතිය, තේසවලාමේ නීතිය වගේ නීතිවලට අමතරව, සිවිල් නීතිය, අපරාධ නීතිය, ඉඩම් නීතිය, වගේ නීති ගොඩක් දැනටමත් ක්‍රියාත්මක වෙනවා..ඒ නිසා වෙන්න ඕන දේ තමයි රටේ පොදු අධිකරණ පද්ධතිය ඇතුළට මේ හැම නීතියක්ම ගේන එක, ජාතිකත්වය හෝ ජනවර්ග වලට අදාළ නීති හැර අනෙක් හැම නීතියක්ම එකම අධිකරණ පද්ධතියක් තුල දැනටමත් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා වෙන්න ඕන දේ තමයි රටේ අධිකරණ පද්ධතිය ඇතුලට මේ හැම නීතියක්ම ගේන එක. ඒත් අද තියෙන ගැටලුව තමයි ඇතැම් නීති ක්‍රියාත්මක වෙන්නේ එහෙම නෙමෙයි කියන එක. කවුද ඒ නීති ක්‍රියාවට නගන්නේ?, මොකද්ද ඔවුන්ට ඒකට තියෙන සුදුසුකම ?, කාටද ඒ අය වග කියන්නේ? යන ගැටලුයි.”

මූලාශ්‍රය - ඉරිදා ලංකා

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top