Jul 11, 2019

සිහළ රාවයෙන් නීතිපතිට ලිපියක් ! Featured

සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ ආධාරකරුවන් 2017 වසරේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ සුෆි මුස්ලිම්වරුන්ට පහර දී ඔවුන්ගේ දේපළවලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව නිසි ක්‍රියාමාර්ග නොගත්තේ ඇයිදැයි සිහළ රාවය සංවිධානය ප්‍රශ්න කරයි.

සහරාන් හෂීම්, පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකේ.

බදාදා (ජුලි 10) දහවල් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඒ සම්බන්ධයෙන් ලිපියක් භාර දුන් බව සිහළ රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදන්ත හිමි පැවසූහ.

සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායමක් 2017 වසරේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ සුෆි මුස්ලිම්වරුන්ට පහර දී ඔවුන්ගේ දේපල විනාශ කර ඇතැයි වාර්තාවන බව උන්වහන්සේ කියා සිටියහ.

පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධව කතා කිරීමේදී අද පහත් තැනින් ජලය ගලා යෑමේ තත්ත්වයක් දක්නට තිබෙනවා

"එම සිද්ධියට අදාළව පිටු තුන්සියයකින් යුත් වාර්තාවක් 2017 වසරේ ජුනි මස 7 වෙනිදා නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බව කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉකුත්දා පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර තිබුණා."

කාත්තන්කුඩි හිටපු පොලිස් ස්ථානාධිපති ගොළු වෙයි

"එහෙත් එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා නිසි උපදෙස් ලබා නොදීම නිසා 2018 වසරේ ජුනි මස 12 වෙනිදා ත්‍රස්ත මර්දන කාර්යාංශය විසින් ද නීතිපති දෙපාර්තමේන්තුව වෙත සිහිකැඳවීමක් යොමුකර තිබෙනවා. එහෙත් නීතිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි අපට පෙනී යන්නේ" යනුවෙන් මාගල්කන්දේ සුදන්ත හිමි චෝදනා කළහ.

පොලිසියේ දැනුම්දීම මත නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී සහරාන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කර තිබුණේ නම් පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමටත් දෙසිය පනහකට අධික පිරිසකගේ දිවි බේරා ගැනීමට හැකිව තිබූ බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්
ආදාළ විමර්ශන සම්බන්ධයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි අවස්ථාවේ දින 14ක් ඇතුළත ඊට ප්‍රතිචාර දක්වන බව එහි නිලධාරියෙකු තමන් වෙත දැනුම් දුන් බව මාගල්කන්දේ සුදන්ත හිමියන් වැඩිදුරටත් කියා සිටියහ.

"පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හා සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධව කතා කිරීමේදී අද පහත් තැනින් ජලය ගලා යෑමේ තත්ත්වයක් දක්නට තිබෙනවා. මේ අපරාධය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා පමණක් අත්අඩංගුවට ගෙන ප්‍රමාණවත් නැහැ.”

"ඊට ඉහළින් සිටි පුද්ගලයින් පිළිබඳවත් සොයා බැලිය යුතුයි. මෙම විමර්ශනයට අදාළව නීතිපතිවරයා නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා ද කියා සොයා බැලිය යුතුයි," යනුවෙන් මාගල්කන්දේ සුදන්ත හිමියන් සඳහන් කළහ.
එවක නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත ජයසූරිය අද අගවිනිසුරු ධුරයේ කටයුතු කරන වාතාවරණයක් තුළ යුක්තියක් ඉටු කරගත හැකි වේ දැයි මාධ්‍යවේදියෙකු කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ කියා සිටියේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවය.

"කොහොමත් නීතිය හා යුක්තිය ඉටුවන ආකාරය පිළිබඳව අප තුළ බරපතළ සැකයක් තියෙනවා. අපිට තනතුරු අදාළ නෑ. එදා නීතිපතිවරයා වශයෙන් සිටි පුද්ගලයා ගැනයි අපි කතා කරන්නේ. ඒ නිසා නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතුයි," යනුවෙන් මාගල්කන්දේ සුදන්ත හිමියන් වැඩිදුරටත් කියා සිටියහ.

බීබීසී - සිංහල

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top