Jul 11, 2019

පාස්කු ප්‍රහාර: "රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට" Featured

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජුලි 24 වෙනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුව හමුවට කැඳවන බව කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පවසයි. 

ඔහු මේ බව බීබීසී සිංහල සේවයට පැවසුවේ එම කමිටුවේ ඉදිරි කටයුතු ගැන විමසූ අවස්ථාවේදීය.

ජුලි 24 වෙනිදා උදෑසන 10.30ට කමිටුවේ සාක්ෂි විමසීම අරඹන බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.

සක්‍රීය සේවයේ නිරත බුද්ධි අංශ නිලධාරීන් මෙම කමිටුවට කැඳවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට ඉහතදී අවධාරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ ද ජුලි 24 වෙනිදා කමිටුව ඉදිරියට කැඳවා තිබේ.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි තවදුරටත් පැවසුවේ, අගෝස්තු මස මුල් සතිය වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කමිටුවේ වාර්තාව සකසා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවය.

අප්‍රේල් 21 වෙනිදා දේවස්ථාන තුනක් සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් 250කට අධික පිරිසක් මියගිය අතර තුවාල ලැබූ ගණන 500කට අධිකය.

බීබීසී සිංහල

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top