Jul 12, 2019

ලසන්ත මැරුවෙත් කීත්ට උපාලිට තඩිබෑ පිරිසමයි! Featured

සන්ඩේ ලීඩර් කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සහ උපාලි තෙන්නකෝන්, කීත් නොයාර්, යන කතුවරුන්ට පහරදීම කොළඹ මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ සේවය කළ එකම යුද හමුදා බුද්ධි කණ්ඩායමක් විසින් සිදුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණවලදී කරුණු අනාවරණය කරගෙන තිබේ.

යුද හමුදා බුද්ධි නිලධාරීන් ලෙස පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී ට්‍රිපෝලි හමුදා බුද්ධි කඳවුරේ සේවය කර ඇති ලලිත් රාජපක්ෂ නමැත්තා ගේ ඇඟිලි සලකුණු සහ උපාලි තෙන්නකෝන් මහතාගේ වාහනයේ සටහන්ව තිබී ඇති ඇගිලි සලකුණු සැසදීමේදී එම නිලධාරියා මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇති බවට අනාවරණය වී ඇත.

මේ නිසාම ලලිත් රාජපක්ෂ යන බුද්ධි අංශ සාමාජිකයන් උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නම් කර තිබේ.

ඒ අනුව ජූලි 7 වෙනිදා එම බුද්ධි නිලධාරියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.

මීට අමතරව කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සැකකරුවකු ලෙස ද ලලිත් රාජපක්ෂ නම් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන මෙහෙයුම සඳහා ලබා ගත්තේ යැයි කියන දුරකථන සිම්පත් පහකට අදාළ දුරකථන මෙම කාලය තුළ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සහ උපාලි තෙන්නකෝන් මහතාගේ නිවෙස් අවට ක්‍රියාත්මක වී ඇති බවද අනාවරණය කරගෙන ඇත.

මේ ඝාතනයට සහ ප්‍රහාරවලට දැනට හඳුනා ගෙන සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පුද්ගලික පරිහරණය කරනු ලැබූ දුරකථන මෙම කාලය තුළ එම ප්‍රදේශ ආශ්‍රිත වම ක්‍රියාත්මක වී ඇති බවද හෙළිව තිබේ.

තවද මෙම ඝාතන කණ්ඩායම එකම වර්ගයේ ඇඳුම්, එකම ජැකට් සහ ආයුධ මෙම ඝාතනය සහ ප්‍රහාර සඳහා යන අවස්ථාවලදී භාවිතා කර ඇති බවද අනාවරණය කරගෙන ඇත.

(අනිද්දා)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top