Jul 12, 2019

ලාඕජී මිස්කෝල් වන්දනාව : Group m ට, යුනිලීවර්ට ICCPR යටතේ නඩු Featured

ඉන්දියානු සමාගමක් වන යුනිලීවර් සමාගම විසින් ලිප්ටන් ලාඕජී යන නමෙන් බෙදාහරිනු ලබන තේ කොළ වර්ගයක් සඳහා ප්‍රචාරය ලබා ගැනීමට කතරගම කිරිවෙහෙර වන්දනාවක් මිස් කෝල් මගින් සිදු කිරීමට ගෙන ඇති වෙළඳ ප්‍රචාරණ කටයුත්තක් සඳහා සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

කෙසේවුවද, අදාළ වෙළෙඳ ආයතනය මෙය සිය ප්‍රචාරණ කටයුතු ඉහල නංවා ගැනීම අරුමුණ කරගනිමින්ම සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.

ඝෘණාත්මක ප්‍රචාරණයක් තුළින් ධානාත්මක ආකර්ශනයක් ඇති කර ගැනීම අරමුණ කරගනිමින් මේ වෙළඳ ප්‍රචාරණ කටයුතු සිදුකර ඇති බව පැවසේ.

මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ සමාජ මාධ්‍ය තුළ මේ සඳහා සෘණාත්මක ආකල්පයක් තුළින් හෝ තම වෙළඳ භාණ්ඩයේ නම පාරිභෝගිකයාගේ මනසෙහි තැන්පත් කිරීමය.

මේ සඳහා මාධ්‍යවේදී අරවින්ද ඉන්ද්‍රජිත් ෆේස්බුක් පිටුව හරහා සිය විරෝධය දක්වා තිබුණේ මෙලෙසිනි.

තේ කොළ ප්‍රචාරණයට බෞද්ධ ආගම යොදා ගැනීමට විරුද්ධයි - හෙළ බොදු හඬ

Laoji1 670px 19 07 12මේ අතර, බෞද්ධ සංවිධාන කිහිපයක් ප්‍රචාරණ කටයුතු සඳහා බෞද්ධ සිද්ධස්ථානයක් යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වා තිබේ.

"හෙළ බොදු හඬ” සිය ෆේස්බුක් පිටුව හරහා මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබූ අතර එම සංවිධානයේ සම සභාපති ධම්මික සොලමන්ස් මහතාගෙන් අප කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ බෞද්ධාගම යොදා ගැනිමින් සිදුකරනු ලබන සියළුම වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා තම සංවිධානය විරුද්ධ බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බලන බවද ඔහු කියා සිටියේය.

තවත් සංවිධාන කිහිපයක් එම ප්‍රචාරය ලබාගත්, වෙළඳ ආයතනයටත්, එය දැන්වීමක් ලෙස මාධ්‍ය ආයතන සඳහා ලබාදුන් සමාගමටත් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ නඩු පරවරීමට පොලිසියට පැමිණිලි කරණ බව කියා සිටී.

ව්‍යවස්ථාවේ ඇති අයිතිය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට භාෂණයේ නිදහස, නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හිමි වේ.

එමෙන් ම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වන වගන්තිය යටතේ ඕනෑ ම පුද්ගලයෙකුට තමන්ගේ කැමැත්ත අනුව ඕනෑ ම ආගමක් වැළඳ ගැනීමේ නිදහස ද, විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද හිමි වේ. හෘද සාක්ෂියේ නිදහස තුළින් පුද්ගලයෙකුට තමන්ට රිසි දෙයක් සිතීමේ සහ ඕනෑ ම ආගමක් හෝ සදාචාරාත්මක කාරණාවක් ගැන තමන් කැමති මතයක් දැරීමේ අයිතිය හිමි වේ.

කෙසේ නමුත්, මේ සියලු අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ අන් අයගේ පෞද්ගලිකත්වයට හානි නොකර, ආත්ම ගරුත්වයට හානි නොකර, ඔවුන්ගේ අයිතිවාසිකම් ද සුරැකෙන ආකාරයෙනි.

පුද්ගල අයිතිවාසිකම් සීමාව ඉක්මවා භාවිත කිරීමට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විවිධ පනත් සහ නීතිවලින් නොයෙකුත් සීමා පනවා තිබේ.

දැන්වීම ප්‍රචාරය කළ බව ගෲප් එම් පිළිගනියි

මේ අතර, අප අදාළ ප්‍රචාරණය සිදු කරනු ලැබුවේ ගෲප් එම් ආයතනය විසින්දැයි එහි නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ යුනිලීවර් නම් අපි තමයි ප්‍රචාරණ කටයුතු සිදු කරන්නේ යනුවෙනි.

පසුගිය කාලයේදී දැඩි ලෙස සිංහල බෞද්ධ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි මාධ්‍ය ආයතන කිහිපයක්ම මේ දැන්වීම මේ වන විට ද දිගින් දිගටම ප්‍රචාරය කරමින් සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top