Jul 13, 2019

මුස්ලිම් විවාහ හා දික් කසාද නීතිය වෙනස් කරයි Featured

(හඬපටය) - මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියේ අත්‍යාවශ්‍ය වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ අනුව වයස් සීමාව සහ විවාහවන ස්ත්‍රීයගේ අභිමතය විමසීමේ වගන්ති ඇතුලු අත්‍යාවශ්‍ය වගන්ති 8 ක් පමණ සංශෝධනයට තීරණය කර ඇති බව හෙතෙම කියා සිටී.

දැනට බලාත්මක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතියට අනුව වැඩිවියට පත්වීමෙන් පසු ඕනෑම ස්ත්‍රීයක විවාහ කර දීමට ඔවුන්ගේ දෙමාපියන්ට බලය ලැබී තිබේ.

කෙසේවුවද, එම නීතිය සංශෝධනය කරමින් මුස්ලිම් ස්ත්‍රීයක් විවාහවීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ලෙස සඳහන් කිරීමට මේ අනුව කටයුතු යෙදෙන බව පැවසේ.

එමෙන්ම දැනට පවතින නීතිය අනුව මුස්ලිම් කාන්තාවක් විවාහවීමේදී ඇයගේ අභිමතය අත්‍යාවශ්‍ය කරුණක් නොවන අතර අවසන් තීරණය ගැනීමේ බලය හිමිවන්නේ ඇයගේ පියා හෝ භාරකරුවන්ටය.

කෙසේවෙතත් ඊට අදාල වගන්තිද සංශෝධනයට තීරණය කර ඇති අතර ඒ අනුව ස්ත්‍රීයක විවාහවීමේදී විවාහ ලේඛණයේ ඇයගේ අත්සන යෙදීම අනිවාර්ය කිරීමටයි තීරණය කර ඇත්තේ.

මෙම ප්‍රධාන සංශෝධන ඇතුලු අත්‍යාවශ්‍ය සංශෝධන 8 කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සදහා කඩිනමින් අධිකරණ අමාත්‍යවරිය වෙත යොමු කිරීමට තීරණය කර ඇති බවද ෆවුසි මහතා පැවසීය.

අධි වරප්‍රසාධිත මුස්ලිම් පිරිමියා

මේ අතර සමාජ ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් අබ්දුල් සරූර් මහත්මිය පවසා සිටියේ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් අධි වරප්‍රසාධිත මුස්ලිම් පිරිමියා අහෝසි වී යන බවයි.

ඇය පුවත්පතකට මෙසේද සඳහන් කර තිබිණි.

" මුස්ලිම් නීතිය අනුව මුස්ලිම් පිරිමින්ට අසීමිත බලයක් ලැබිලා තියෙනවා. දරුවන් විවාහ කර දීම සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය ඔවුන්ට ලැබිලා තියෙනවා. විවාහ හතරක් කර ගැනීමේ අයිතිය තියෙනවා. ඇත්තටම මුස්ලිම් නීතියට අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන නිසා හතරක් නෙමෙයි කැමති ගණනක් විවාහ කරගන්න පුළුවන්. සියලු තීන්දු තීරණ ගන්නේ ඒවා ක්‍රියාත්මක කරන්නේ නීතිරීති හදන්නෙ සහ ඒවා ක්‍රියාත්මක කරන්නේ පිරිමි විතරයි. ඉතින් ඒවා වෙනස් කරන්න ඕන.”

සබැඳි පුවත්
මුස්ලිම් විවාහ නීතිය අහෝසි විය යුතුයි - ශ්‍රීන් අබ්දුල් සරූර්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top