Jul 16, 2019

පාසල් ළමනුත් 2%ක් දුම්බොන්නෝ

ලෝකයේම ගත් විට ශ්‍රී ලංකාව මුඛ පිළිකාවලින් පළමු තැන සිටින බවත්, මෙහි වසරකට දුම්කොළ භාවිතය නිසා මරණ 20,000ක් 22,000ක් පමණ සිදුවන බවත්, මෙරට පිරිමි පාර්ශ්වයේ ද පිළිකා අතර මුඛ පිළිකාව පළමු ස්ථානය ගන්නා බවත්, දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා කියයි.

දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව දැනුවත් කිරීමට ඊයේ (15) කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය.

මුඛ පිළිකා බහුලවීමට ප්‍රධාන හේතුව බුලත්විට දුම්කොළ බවද ඔහු කියා සිටියේය. 

මේ අතර දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කරන්නන්ට අදාළ මහජන පැමිණිලි තොරතුරු ලබා දීම සඳහා 1948 ලෙස දුරකථන අංකයක්ද විවෘතව ඇති බව ඒ මහතා පැවසීය.

එම පනතට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා පනතේ බලයලත් නිලධාරීන් ඉදිරියේ දී දිවයින පුරා විශේෂ වැටලීම් සිදු කිරීමට ද සැලසුම් කර ඇති බවත් වැඩිදුරටත් අවධාරණය කළේය.

පාසැල් ළමයින් (වසර 14ත් 16ත් අතර) 2%ක, 3%ක පමණ ප්‍රමාණයක් දුම්වැටි භාවිතයට යොමු වී තිබෙන බවත් ගිය වසරේ සමීක්ෂණ වාර්තාවලින් පෙනී ගොස් ඇතැයිද ඔහු කීය.

ඒ අනුව අද (16) සිට දුම්වැටි සහ මද්‍යසාරවලට අදාළව පවතින නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා මෙසේ ද කීවේය.

“ අද කතරගම ඇසළ මංගල්‍ය පවත්වනවා. ඊට සමගාමීව ඒ ප්‍රදේශයේ විශේෂ වැටලීම් සිදු කරනවා. සිගරට් සඳහා බදු වැඩිකිරීම ආණ්ඩුව සිදුකළ හොඳ දෙයක් කියලා කියන්න පුළුවන්.”

දුම්කොළ නිසා වසරකට බිලියන 20ක් සෞඛ්‍ය අංශයත් පුච්චනවා

එහිදී අදහස් දැක්වූ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා,

“වසරකට බිලියන 200ක් පමණ දුම්කොළ නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලුවලට ප්‍රතිකාර කිරීම සඳහා රජය විසින් වෙන් කරනවා. මෙම පනත ක්‍රියාත්මක කිරීමට අදාළව මහජනයාගේ සහය ඉල්ලනවා. පනත උල්ලංඝනය කරන්නන් සම්බන්ධව ළඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට, තොරතුරු ලබාදෙන්න. දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ උපදේශක ජයතිස්ස නානායක්කාර මහතා,

දිවයින පුරා පවතින සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දැනුවත්කර දුම්වැටි භාවිත කරන පිරිස මුදාගැනීම සඳහා විශාල සේවාවක් සිදු කරනවා.

දුම්වැටි භාවිත කරන පිරිස අඩුකරන අතර පනතට අවනත නොවන පිරිසට නීතිය ක්‍රියාත්මක කිරීම මෙහිදී අප සිදුකරනවා. ඒ යටතේ විශේෂයෙන් වයස අවු. 18ට අඩු පිරිස දුම්පානය කිරීම, ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය, පූජා භූමිවලදී සහ අලෙවිසල්වල සිටම දුම්පානය පිළිබඳව අවධානය යොමු වෙනවා.

දුම්වැටි පානය කරනවා නම් එයට වෙනම කලාපයක් හදන්න අවශ්‍යයි.

දැනට පවතින දුම්වැටිවලින් තොර කලාප ලෙස පවත්වාගෙන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස එලෙසම පවත්වාගෙන යනගමන් ඉදිරියේදී එය 342 දක්වා වැඩි කිරීමට කටයුතු කරනවා. පනතට එරෙහි ක්‍රියාත්මක වන අය සඳහා දඬුවම් ක්‍රියාත්මක කිරීම ප්‍රසිද්ධ ස්ථානවලදී දුම්වැටි පානය කළහොත් රුපියල් 50,000ක් යන ආදී වශයෙන් වරදේ ස්වභාවය අනුව දඬුවම් නියම කරනවා. එහිදී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ද අදහස් දැක් විය.

"දුම්වැටියක මිල රු 16.50 කින් ඉහල දැමීමේ සූදානමක්"

මේ අතර, මේ වැඩසටහන් සියල්ලේ අරමුණ දුම්වැටිවල මිල ඉහල දැමීම බවට චෝදනාවක්ද මේවන විට එල්ලවෙමින් තිබෙන අතර සමාජ මාධ්‍ය තුළ මෙය විශාල වශයෙන් කතා බහ වෙමින් පවතී.

එසේ පලකර තිබූ සටහනක් පහත දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top