Jul 19, 2019

කොළඹට රූපවාහිනය පේන්න ෆෙයාර්වේ කුළුණ ඕනෑම නෑලු Featured

රාජගිරියේ පිහිටි ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් නිවාස සංකීර්ණයේ සවිකර ඇති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ප්‍රතිවිකාශන කුළුණට අදාළ ගිවිසුම පසුගිය අප්‍රේල් මාසයේ සිට අලුත් නොකළ බවත්, ඒ අදාළ කුළුණ රූපවාහිනී හා අයි නාලිකාවේ විකාශයට අත්‍යවශ්‍ය කාරණාවක් නොවන නිසා යැයි රූපවාහිනියේ ප්‍රකාශකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

ඊට ප්‍රධාන හේතුව සිය විකාශන කුළුණු ඉදිරියේදී නෙළුම් කුළුණට රැගෙනයාමට කටයුතු යොදමින් සිටීම බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් නිවාස සංකීර්ණයේ සවිකර තිබූ ප්‍රතිවිකාශන කුළුණට විදුලි සැපයුමට අදාලව පසුගිය මාස කිහිපයකට ගෙවීමට තිබූ රුපියල් හත්ලක්ෂ අනූනවදහසක (රු.799,000/-) මුදලක් නොගෙවීම නිසා එහි විදුලි සැපයුම අත්හිටුවීම නිසා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ජාතික රූපවාහිනී සහ චැනල් අයි යන නාළිකාවන්ගේ පැහැදිලි දසුන් නොලැබෙන බවට පලව ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

එසේම අදාළ කුළුණේ විදුලි බිල ගෙවිය යුතුවන්නේ ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස් ආයතනය විසින් බවද ඔහු කියා සිටියේය.

මේ කුළුණ මේවන විට සිය නාලිකාවල ප්‍රති විකාශනයට අවශ්‍යම නොවන බවත්, කෙසේවුද, එය තිබීමෙන් සිය තරංග වඩාත් ශක්තිමත් කර ගැනීමට සහයක් ඇති බවත් හෙතෙම කීය.

මේවන විට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට සිය නාලිකාවල රූපවාහිනී තරංග බෙදාහරිනු ලබන්නේ පිදුරුතලාගලින් බවද ඔහු පැවසීය.

පිදුරුතලාගල විකාශන මධ්‍යස්ථානයේ විදුලි බිල්පත් නියමිත කාලයට ගෙවා නොමැති බවත් ඒවාට ද රතු බිල්පත් ඇති බවටද මාධ්‍ය වාර්තා පලව තිබේ.

මේ අතර, ක්‍රිකට් ලෝක කුසලාන තරග විකාශය මිලදී ගැනීමට රුපියල් මිලියන 350ක මුදලක් ද, රුපියල් මිලියන 280ක බැංකු අයිරා ද, ටෙලිනාට්‍ය මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 60ක් ද සංස්ථාව විසින් ගෙවීමට ඇති බව වාර්තා වේ.

රූපවාහිනී සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත්ව ඇත්තේ එහි ඇති අතිරික්ත සේවක සංඛ්‍යාව නිසා බවද පැවසේ.

සේවකයින් 1000ක් පමණ මෙහි සේවයේ නිරත වන සංස්ථාවේ සේවක වේතන සඳහා පමණක් මසකට රුපියල් මිලියන 80ක වියදමක් සංස්ථාව විසින් දරන බව පැවසේ.

කෙසේවුවද, මෙරට වෙනත් ප්‍රධාන නාලිකාවල සිටින උපරිම සේවක සංඛ්‍යාව 300කට වඩා අඩු බවද මේ අතර වාර්තා වේ.

මාසික වියදම රුපියල් මිලියන 220 ඉක්මවන සංස්ථාවේ මසකට උපයන ආදායම රුපියල් මිලියන 100 – 120 පමණ වන බව වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top