Jul 20, 2019

මුහුදට හේදෙන කුරුසපාඩුවේ ගෙවල් (ඡායා) Featured

මුහුද රළු වීම නිසා හලාවත - කුරුසපාඩුව ප්‍රදේශයේ පවුල් 52 ක් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා පැවසීය.

ඉවත් කරන පවුල් හලාවත - වැල්ල රෝමාණු කතෝලික දේවස්ථානයේ තාවකාලිකව රදවා තැබීමටද මේ වන විට කටයුතු කර ඇත.ඔවුන්ට අවශ්ය සුභ සාධන කටයුතු හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබා දීමට නියමිතව ඇත.

පසුගිය දින කීපය තුළ මුහුද රළු වීම හේතුවෙන් හලාවත - කුරුසපාඩුව වෙරළ තීරය දැඩි ලෙස ඛාදනයට ලක් වන්නට පටන් ගෙන ඇත.

මෙම වෙරළ තීරයේ ඉදිකර ඇති නිවාස රැසක මුළුතැන් ගෙය සහ වැසිකිලි සම්පූර්ණයෙන්ම මුහුදට ගසා ගෙන ගොස් ඇති අතර, නිවාස කීපයක්ම මුහුදට ගසා ගෙන යාමේ අවදානමකට ලක්ව තිබුණි.

ප්‍රදේශයේ ධීවරයින් විසින් වැලි කොට්ට යොදා මුහුදු ඛාදනයෙන් තම නිවාස බේරා ගැනීමට උත්සාහ කළත් එයද අසාර්ථක වී තිබුණි.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස කුරුසපාඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ව තාවකාලිකව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයේ මුහුදට ආසන්නයේ පදිංචිවී සිටින කිසිවකුට එහි රැඳී සිටීමට නීත්‍යානුකූල අවසරක් නොමැති බවද මේ අතර වාර්තා වේ.

මෙම තත්ත්වය නිසා ඔවුන්ට වෙනත් ස්ථානයක ඉඩම් ලබා දී එහි නීත්‍යානුකූලභාවය ලබා දීම සම්බන්ධයෙන්ද අවදානය යොමු වී ඇති බව පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා අප කළ විමසීමකදී සදහන් කළේය.

සටහන හා ඡායාරූප - ජූඩ් සමන්ත

Kurusapaduwa 001

Kurusapaduwa 002

Kurusapaduwa 003

Kurusapaduwa 004

Kurusapaduwa 005

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top