gettyimegers gettyimegers
Jul 21, 2019

රනිල් - කරූ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙන් : ගෝඨාගේ වැඩ වීඩියෝවෙන් Featured

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හා අගමැති අපේක්ෂක ධුර සඳහා රනිල් වික්‍රමසිංහ හා කරු ජයසූරිය මහත්වරුන් ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව එ.ජා.ප. ඉහළ පෙළේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන බව දේශය පුවත්පත කියා සිටී.

මෙම යෝජනාව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත කර ගැනීම සඳහා ඉදිරි සති කිහිපය තුළ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් පැවැත්වීමට යන බවද එහි දැක්වේ.

එ.ජා. පෙරමුණ සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ලෙස නම්කොට එහි සාමාජිකත්වය පුළුල් කිරීමේ සැලැසුමක් ඇතැයි ද මේ අතර වාර්තා වේ.

මේ සන්දානය නිල වශයෙන් අගෝස්තු 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

මෙම පෙරමුණ සඳහා සුළු ජාතික පක්ෂවලට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කිරීමට නියමිත බව පැවසේ.

සාධාරණ සමාජයක් සඳහා වන එකමුතුව මෙන්ම තවත් සිවිල් සංවිධාන ගණනාවකටද මේ සඳහා එක්වන්නැයි ඉදිරියේදී ඇරයුම් කිරීමට නියමිත බව පැවසේ.

කෙසේවුවද, එජාප පසුපෙළ මන්ත්‍රීන් බහුතරය එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද පැවසේ.

ගෝඨාගේ වැඩ

පොදු ජන එක්සත් පෙරමුණේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කෙරුණ ද, ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට ඒ මහතා සක්‍රීයව යොදා ගැනීමේ අපහසුතාවයක් මතුව ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ මහතාට මේවන විට හෘද සැත්කමක් සිදුකර තිබීම ඊට හේතුවයි. පසුගිය ජුනි මාසයේදී අදාළ සැත්කමට මුහුණදුන් ඒ මාහතාට නිදා ගැනීමේදී පවා එක් ඉරියව්වකට නිදාගන්නා ලෙස දන්වා ඇති බව පැවසේ.

වෛද්‍ය උපදෙස් අනුව ඔහුට දීර්ඝ ලෙස කතා කිරීමට පවා තහංචි පනවා ඇති බව වාර්තා වන අතර ඒ අනුව ඔහු ජනාධිපති අපේක්ෂකයා වුවහොත් ප්‍රධාන රැස්වීම් කිහිපයක් හැර අනෙක් රැස්වීම් සඳහා වීඩියෝවක් ආධාරයෙන් ජනතාව අමතනු ඇති බවද පැවසේ.

මේ අතර, ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුරවැසියන්ගේ නම් ඇතුළත්කොට අප්‍රේල් - ජූනි කාර්තුවට අදාළව ඇමෙරිකානු ‌දේශීය ආදායම් සේවය සකස් කර ඇති වාර්තාවට ගෝඨාභය රාජපක්ෂගේ නම ඇතුළත් කොට නැතැයි සති අන්ත 'අනිද්දා’ පුවත්පත කියා සිටිද්දී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ ගෝඨා ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙන ඇති බවයි.

අලුත්ගමගේ මහතා එසේ කියද්දී ගෝඨා ජනපති අපේක්ෂක කිරීමේ සටන ගෙනගිය ආචාර්ය නලින් ද සිල්වා, ගෝඨාභය ගැන පමණක් බලාපොරොත්තු නොතබා විපක්‍ෂය වෙනත් ජනාධිපති අපේක්‍ෂකයකු ගැනත් සොයා බලන්නැයි පොහොට්ටු පක්ෂයේ ප්‍රධානීන්ට යෝජනා කර ඇති බව විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යනු ලබන ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවියේ ''ගෝඨාභයගේ අනාගතය'' යන ශීර්ෂයෙන් යුතු සටහනේ ඇතුළත්ව තිබේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top