Jul 25, 2019

අගමැතිගෙන් හරීන්ට හදිස්සි කැඳවීමක් Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය අඟහරුවාදා සිය කාර්යාලයට කැඳවා ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා තිබේ.

මේ සාකච්ඡාවට 96 ලෝක කුසලාන ජයග්‍රාහී පිලේ නායක වත්මන් අමාත්‍ය අර්ජුන රණතුංග හා හිටපු ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායකව ද කැඳවා තිබුණ බව වාර්තා වේ.

බංග්ලාදේශ තරගාවලියෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක් ඔවුන් මුණ ගැසීමට වේලාවන් ඉල්ලා තිබූ බව ශ්‍රී ලංකා මිරර් මීට පෙර වාර්තා කර තිබූ අතර එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මේ සාකච්ඡාව පවත්වා ඇති බවද ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ සාකච්ඡාවේදී පසුගිය වසර එකහමාරක කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ බරපතල කඩා වැටීම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සෙකච්ඡා කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පසුගිය කාලයේදී කටයුතු කළ ෆයිසර් මුස්තාපා මහතාගේ කාලයේදී සිදුව ඇතැයි කියන ඩොලර් මිලියන 5.5ක වංචාවක් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකු තරග පාවාදීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බවත්, හරීන්ට ඒ සම්බන්ධයෙන් මෙතෙක් විසඳුම් ලබා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා කනස්සල්ලට පත්වූ බවත් පැවසේ.

හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වී මේවන විට මාස 6කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඔහු ක්‍රිකට් දූෂණ අවසන් කරනු ඇතැයි බොහෝදෙනා බලාපොරොත්තු තබා තිබුණ ද ඒවා මෙතෙක් ඉටු කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා වී තිබේ.

කෙසේවුවද, ඒ මහතාට මේවන විට ලෝක කුසලාන ක්‍රිකට් පිලේ තේමා ගීතයට රුපියල් මිලියන 5ක් (ලක්ෂ 50ක්) වැය කිරීම, ඇමති ආරක්ෂකයින් තිදෙනෙකු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යැවීම, ලෝකු කුසලාන තරගාවලිය නැරඹීමට එය පැවැති එංගලන්තයට වාර දෙකක් යාම් ඒම් කිරීම හා බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේවන විට චෝදනා එල්ලවී තිබේ.

මේ සාකච්ඡාවේදී අගමැතිවරයා හරීන් මහතාට උපදෙස් කිහියක්ම ලබාදී ඇති බව පැවසේ.

අදාළ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ක්‍රිකට් නැංවීමට අතුරු කමිටුවක් පත් කිරීම වඩාත් වැදගත් වනු ඇති බව පෙන්වා දී ඇතැයි Cricket Age වාර්තා කර තිබේ.

සබැඳි පුවත්
හරීන් ක්‍රිකට් තේරීම් කමිටුවටත් ඉල්ලා අස්වෙන්න කියයි

පරාජයේ පව් හතුරු පිටින් යවන්න හැදූ හරීන්ට ලිපියක් නිසා තරුවිසිවෙයි

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top