Aug 08, 2019

“විස්සයි 20ට අපෙන් සජිත්” පෝස්ටරට සජිත් අවුලෙන් : රනිල් ජනපතිවරණයට එන්නෙ නෑ Featured

රටපුරා අලවා ඇති “විස්සයි 20ට අපෙන් සජිත්” යන පෝස්ටරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවුලට පත්ව ඇතැයි වාර්තා වේ.

ඒ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2019 වසරේදී වන අතර එසේ තිබියදී මෙවැනි පෝස්ටරයක් නිර්මාණය කර රටපුරා අලවනු ලැබුවේ කවුරුන් විසින් කුමණ අරමුණක් සඳහා ද යන්න පිළිබඳව ගැටලුවක් මතුවීම නිසාය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේවන විට ජනාධිපතිවරණය නොවැම්බර් 15ත් දෙසැම්බර් 07ත් අතර අනිවාර්‍යයෙන් තබන බවට ප්‍රසිද්ධ කර තිබියදී ද මෙවැනි පෝස්ටරයක් ඇලැවීම ගැන සජිත් අවුලට පත්ව ඇති බව වාර්තා වේ.

මුල් වටයේදී A-4 ප්‍රමාණයේ පෝස්ටරයක් මේ සඳහා යොදාගෙන තිබූ අතර, පසුව එය අනුකරණය කරමින් සජිත්ට සහය දෙන පිරිස් මෙය විශාලකර පොස්ටර් ව්‍යාපාරය දියත්කර ඇති බවද මේ අතර වාර්තා වේ.

 Sajith P 001

මෙය සිදුකර ඇත්තේ එජාපය දෙකට බෙදීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන සිටින කල්ලියක් විසින් ද යන සැකයද මේවන විට සජිත් පාර්ශවයට ඇතිව ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ෆේස් බුක් සමාජ ජාලය තුළ ද විවිධ මත පලව තිබේ.

එජාප නායක - නියෝජ්‍ය නායක හමුව

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර පෙරේදා (06) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවති හමුවේදී ඉදිරියේදී පිහිටුවීමට නියමිත පුළුල් සන්ධානය හා ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බව වාර්තා වේ.

එම සාකච්ජාවේදී, තමා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් බවත්, ඒ සඳහා පක්ෂයේ හා වෙනත් දේශපාලන පක්ෂ කණ්ඩායම් රැසක සහය තමාට ඇතැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඊට ප්‍රති උත්තරයක් ලෙස වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ එසේ නම් එය සුභ තත්ත්වයක් බවයි.

කෙසේවුවද, තමා දන්නා පරිදි පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයේ මෙන්ම සුළු ජාතික පක්ෂවල එවැනි නැඹුරවක් නොමැති බව එහිදී අගමැතිවරයා අවධාරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

SajithP 002

සජිත්ට අපේක්ෂකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කර නොමැති වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ අපේක්ෂකත්වය තීරණය වන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බැවින් එය දිනා ගැනීමට කටයුතු කරන ලෙසයි.

සාකච්ඡාව මෙය වුවද මාධ්‍ය ඔස්සේ පක්ෂයේ බහුතරය තමා සමඟ සිටින බවත්, ඒ නිසා පක්ෂයේ සියලු මන්ත්‍රීවරු එක්කර ඡන්දයක් අවශ්‍ය බවත් දක්වමින් පිරිසක් මාධ්‍ය ප්‍රචාරයක් දියත් කර ඇති බවද පැවසේ.

මේ ප්‍රචාරය එජාපයේ සිටින විපක්ෂයට සම්බන්ධ පිරිසක් විසින් සිදුකර ඇති බවද වාර්තා වේ.

Sajith 002

රනිල් ජනපතිවරණයට එන්නේ නෑ

ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදී අග්‍රාමාත්‍ය කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේ වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන බවට මෙතෙක් සෘජු ප්‍රකාශයක් කර නොමැති බවයි.

මේ ගැටුම් මතුවීමට පෙර සිටම ඔහු ජනපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂ අභ්‍යන්තරයෙන් සුදුසු අපේක්ෂකයකු සොයමින් සිටිය ද ඔහු ඉදිරිපත්වීම සම්බන්ධ සැලැසුම් සකස් නොකළ බවද ඔහු කියා සිටියේය.

එජාපයෙන් අපේක්ෂකයකු දැමීම සම්බන්ධයෙන් ගැටලු තිබුණේ පක්ෂයේ පිරිසට වඩා පිට පක්ෂවල අයට බවද ඔහු කීය. කෙසේවුවද, ශක්තිමත් සන්ධානයක් මගින් එජාප අපේක්ෂකයකු හරහා ඉදිරි ජනපතිවරණය ජය ගැනීම ඔහුගේ ඉලක්කය වී ඇති බවද මෙහිදී සඳහන් කළේය.

සූත්තරය සජිත් + කරූ එකතුව ද?

මේ අතර දේශපාලන විචාරකයෝ “විස්සයි 20ට අපෙන් සජිත්” යන පෝස්ටරය නිර්මාණය කර ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සිට 19 වැනි සංශෝධනයත් සමඟ ජනාධිපති ධූරය බල රහිත එකක් බැවින් එජාප ජනපති අපේක්ෂකත්වය කරූ ජයසූරියට ලබාදී 2020 පැමිණෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයට සජිත් පත් කිරීමට ඉලක්ක කළ පිරිසක් විසින් බවද පවසති.

ආචාර්ය නිහාල් ජයවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් පැහැදිළිකරමින් කියා සිටින්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව මේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වූ දිනයේ සිට දැනට පවතින ජනාධිපති ආණ්ඩු ක්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් බවට පත්වන බවත්, අලූත් ජනාධිපතිවරයා පත්වන දිනයේ පටන්ම රට පුරා ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි පක්ෂයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ක්‍රියාත්මකවීම බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටී.

“ ඊළඟ ජනාධිපතිගේ භූමිකාව

ඊළඟ ජනාධිපතිවරයාගේ කාර්ය භාරය කුමක් වනු ඇත්ද? ඔහු/ඇය රාජ්‍ය නායකත්වය හොබවනු ඇත. විධායකයේ (ආණ්ඩුවේ) නායකත්වය හොබවනු ඇත. සන්නද්ධ හමුදාවන්හි ප්‍රධාන අණදෙන නිලධාරියා වනු ඇත. 1972 ව්‍යවස්ථාව යටතේ විලියම් ගොපල්ලව සිටියේ හරියටම එවැනි තත්වයකයි. ඊටත් කලින්, 1946 ව්‍යවස්ථාව යටතේ පවා විධායක බලය තිබුණේ අග්‍රාණ්ඩුකාරවරයා අතේ ය. ශ්‍රීමත් හෙන්රි මූර්, සෝල්බරි සාමි සහ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක වැනි එතෙක් සිටි සියලූ දෙනා සෑම සතියකම සෑම අමාත්‍ය මණ්ඩල සැසිවාරයකම සටහන් පත්‍රිකාවේ පිටපතක් ලැබීමට නියමිතව සිටියෝය. ඉන් පසු, ‘ක්වීන්ස් හවුස්’ හිදී සෑම බදාදා දිනකම පැවති චාරිත්‍රනුකූල දිවා ආහාරයේදී කැබිනට් තීන්දු පිළිබඳව අගමැතිවරයා විසින් ඔහුට දන්වනු ලැබීය. ඒ කාලයේ අග්‍රාණ්ඩුකාරවරයෙකු කැබිනට් රැස්වීමකට සහභාගී වූ එකම අවස්ථාව වශයෙන් සටහන් වන්නේ, 1958 හදිසි නීති තත්වය යටතේ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක වරක් ඊට සහභාගී වී ඇති අවස්ථාව පමණි. 19 වැනි ව්‍යවස්ථාවට අතපසු වී ඇතැයි සිතෙන එක කාරණයක් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වැනි ව්‍යවස්ථාව යටතේ ඊළඟ ජනාධිපතිවරයා තවදුරටත් ‘අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා’ වශයෙන් සිටීමයි. සමහරවිට එහි අදහස වෙනවා ඇත්තේ, පාර්ලිමේන්තුවේ සභාපතිත්වය වර්තමානයේ කතානායකවරයා විසින් දරන්නා සේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දැරීම විය හැකිය. එවිට අමාත්‍ය මණ්ලඩයේ න්‍යාය පත්‍ර පිළිබඳ සිය අදහස් දැක්වීමටත්, ඔහු ප්‍රිය කරන කාරණයක් එහිදී මාතෘකාව කර ගැනීමටත් හැකියාව තිබේ. එහෙත් යම් විෂයයක් සම්බන්ධයෙන් තමාගේ ‘ප්‍රතිපත්තිය’ ක්‍රිවේ යෙදවීම ඔහුට කළ හැකි දෙයක් නොවේ. එසේ වුවහොත් එය, එකී විෂය භාර අමාත්‍යවරයාගේ විෂයපථය ජනාධිපතිවරයා විසින් ආක්‍රමණය කරනු ලැබීමක් වන්නේය.

ජනාධිපතිවරයා කටයුතු කරන්නේ උපදෙස් මත පමණි

ජනාධිපති ධුරය සම්බන්ධයෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ වන විටමත් ඇති කොට තිබෙන වෙනස්කම්:

1. ජනාධිපතිවරයා සතුව තිබූ නෛතික මුක්තිය ඉවත් කිරීම

2. ඉහළ අධිකරණවල විනිසුරුවරුන්, නීතිපතිවරයා සහ වෙනත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශයන්ට යටත්ව පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම

3. ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, ‘ව්‍යවස්ථා සභාවේ’ නිර්දේශ යටතේ පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

4. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය, පාර්ලිමේන්තුවේ මුළු වාර කාලයේ අවසාන මාස හයේදී මිස වෙනත් අවස්ථාවක නම්, පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත පමණක් කළ හැකි කාර්යයක් බවට පත්කිරීම.

5. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

6. ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ තනි බලය, අගමැතිවරයාගේ උපදෙස් මත පමණක් අභ්‍යාස කළ හැකි බලයක් බවට පත්කිරීම.

7. අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කිරීම."

 සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සමාජ ජාලයන් තුළ නිතර පෙනී සිටින අශාන් ගම්හේවා මේ සම්බන්ධයෙන් ෆෙස්බුක් සටහනක් තබමින් හෙළිකර තිබිණි.

සබැඳි පුවත්
මීළඟ ජනපති වෙන්න හදන්නේ 43 වැනි වගන්තිය නොකියවාද?

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top