Aug 13, 2019

ලංකාදීප කෝටි 100ක් අතින්දාලා, සහරාන්ගේ ගිණුමෙන් 5ක් හිරේ යවයි Featured

“ලංකාදීප” පුවත්පත වාර්තා කළ අසත්‍ය ප්‍රවෘත්තියක් හේතුවෙන් කැබිලිතිගොල්ලෑව පදිංචි මුසිලිම් පුද්ගලයන් පස්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිද්ධියක් ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ පිරිස අන්තවාදී ආගමික මතවාද පැතිරවීම ඇතුළු ‌චෝදනා කිහිපයක් මුල් කර ගනිමින් හොරව්පතාන පොලිසිය විසින් ඉකුත් මැයි මස 24 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට පසු දින එනම් මැයි 25 වැනිදා ලංකාදීප මුල් පිටුවේ මේ සම්බන්ධයෙන් පුවතක් පලව ඇති අතර එහි "සහරාන් කල්ලි පස් දෙනාගේ බැංකු ගිණුම්වල කෝටි 100ක්” යන සිරස්තලය යටතේ ප්‍රවෘත්තියක් වාර්තා කර ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරුවන් පස් දෙනාගේ ඡායාරූප ද සහිතවය.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කැබිතිගොල්ලෑව පොලිස් වසමට අයත් ඇල්ලවැව ගම්මානයේ නුහුගේ සකරියා, සේනුල් අබ්දිල් ඉර්ෆාන්, ලේබ්බේ තම්බි ජැස්මින්, සේනුල් අබ්දින් කලිෆතුල්ලා සහ හොරොව්පතාන පොලිස් වසමේ කිවුලේකඩ ග්‍රාමයේ පදිංචි මොහිදින් බාවා නවුෆර් යන පුද්ගලයන් පස් දෙනෙකි.

බැංකු ගිණුම්වල කෝටි 100ක් තිබූ බවට චෝදනාවක් කිසිදු නීති අංශයකින් මේ වනතුරු ඔවුන්ට එල්ල කර නොමැති අත් අඩංගුවට පවුල් වල සාමාජිකයෝ ප්‍රකාශ කරති.

ඔවුහු භාෂා ගැටලුව නිසා මෙය හෙළිකරගැනීමේ අපහසුතාවයට ලක්ව සිටින බවද පවසති. මේ පුවත, වාර්තාකර ඇත්තේ නඩුවේ “බී” වාර්තාව පවා අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙරය.

කෙසේවුවද, මේවන විට අත්අඩංගුවට ගත් අයගේ ත්‍රස්ත විමර්ශන වාර්තාව හා “බී" වාර්තාව කැබිලිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබේ.

පසුගිය 27 වැනිදා ඉදිරිපත් කළ “බී” වාර්තාවේ මොවුන්ගේ ගිණුම්වල කෝටි 100ක් ඇති බවට කිසිදු සටහනක්ද නොවේ.

හොරොව්පාතන පොලිස් ස්ථානාධිපතිගේ ප්‍රකාශය

මේ අතර, ‌හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති රොෂාන් සංජීව මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අත්අඩංගුවටපත් ‌මෙම පුද්ගලයින් පස් ‌දෙනාගේ ගිණුම්වල කෝටි 100ක මුදලක් තිබූ බවට තමා හෝ පොලිස් ස්ථානයේ වෙනත් නිලධාරියකු මාධ්‍යට නොපැවසූ බවයි.

සංජීව මහතා, වැඩිදුරටත් ශ්‍රී ලංකා මිරර් වෙත පැවසුවේ එව අසත්‍ය ප්‍රවෘත්තිය වෙනුවෙන් හොරොව්පතාන පොලිසියටද ගැටළුවලට මුහුණපෑමට සිදුවූ බවයි. එසේම පොලිස් මූලස්ථානයද සිය පොලිසිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ බවයි.

කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපති කියන කතාව

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර හොරොව්පතාන පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගත් බවට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් කරනු ලබන ප්‍රකාශ අනුව අප කැබිතිගොල්ලෑව පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළේය.

ඉස්ලාම් ආගමික මතවාද පැතිරවීම සම්බන්ධයෙන් ලද තොරතුරක් සම්බන්ධයෙන් පොලිසියට කැදවා කට උත්තර සටහන් කර ගත් බවද ඔහු සනාථ කළේය.

කෙසේවුවද, සැකකරුවන් සහරාන් කණ්ඩායමට සම්බන්ධ බවට හෝ කෝටි 100ක මුදලක් ගිණුම්වල ඇති බවට තමාට එහිදී එළිකර ගැනීමට නොහැකි වූ බව හෙතෙම කීය.

 කවුද මේ පස්දෙනා

Irfan house15 දෙනෙකු ජීවත්වන ඉර්ෆාන්ගේ නිවස

සේනුල් අබ්දිල් ඉර්ෆාන් ඇල්ලවැව ග්‍රාමයේ පදිංචි අයෙකි. ඔහුගේ බිරිද ෆාතිමා ශාහිදා පැවසුවේ කෝටි 100ක මුදලක් ගිණුමේ ඇතැයි යන චෝදනාව තම සැමියා වෙත ද එල්ලව ඇති නමුත් ඔහු සතුව අවම වශයෙන් ඉතිරි කිරීමේ බැංකු ගිණුමක් හෝ නොමැති බවයි.

"අපිට බැංකු ගිණුම් නැහැ. ලයිසන්, වාහන තියා අපිට ඉන්න තැනක්වත් නැහැ. අපි ජීවිතේ ගැටගහන්නෙ ‌ලොකු දුකක් විදලා. ඉතිං ‌කොහොමද ඒ පත්තරේ අය කියන්නෙ අපිට ‌කෝටිි 100ක් තිබුණා කියලා? එදා පොලිසිය ඇවිත් ගෙදර ගොඩක් වෙලා සෝදිසි කළා. ඒත් සොයාගන්න කිසිවක් අපි ළග තිබුණෙ නැහැ."

ඉර්ෆාන් පල්ලියක ඒක්දරු පියෙක් වන අතර ගුරුවරයෙකු හෙවත් මවුලවිවරයෙක් වශයෙන් සේවය කළ අයෙකි. ඔහුගේ බිරිද ගෘහණියක් වශයෙන් කටයුතු කරයි. තමාටම කියා නිවසක් නැති ඉර්ෆාන් සිය බිරිද සහ දරුවා සමග දිවි ‌ගෙවන්නේ පුද්ගලයින් 15කින් සමන්විත පවුල් 5ක් වෙසෙන කුඩා නිවසකය.

දිනපතා පල්ලියේ ඉගැන්වීම් කටයුතු සදහා කිලෝමීටර් ‌දෙකක් ගෙවා පයින් ගමන් කරන ඉර්ෆාන් හට පාපැදියක් ගැනීමට හෝ වත්කමක් නොතිබූ බව ඉර්ෆාන්ගේ පියා පැවසීය. මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසු තම ඇතැම් නෑ සියන් මෙන්ම ඇතැම් ගම් වැසියන් සිය පවුලට IS පවුල යනුවෙන් වාග් ප්‍රහාර එල්ල කිරීමට පෙළඹී ඇති අතර කෝටි 100ක් තිබේ නම් ‌මෙලෙස දුප්පත්කමින් මිරිකෙමින් ජීවත් ‌වෙන්නේ මන්දැයි ප්‍රශ්න කරයි.

අත්අඩංගුවට පත් තවත් අයෙක් වන ජැස්මින් ගුරුවරයෙකු වශයෙන් සේවය කළ ‌දෙදරු පියෙකි. ඔහුගේ බිරිදද ගුරු වෘත්තියේ නියැලෙන අතර ප්‍රාථමික මට්ටමින් අඩක් ඉදි කළ නිවසක ඔවුහු වාසය කරති. ජැස්මින් මෑතකදී රිය අනතුරකට මුහුණ දී ඇති අතර එයින් ඇති වූ ශාරීරික ආබාධ හේතුවෙන් ඔහු ශරීර කෘත්‍ය කිරීම සදහා මහත් අපහසුතාවන්ට මුහුණ පාමින් සිට ඇත. නමුත් ඒ සදහා පහසුවක් සැලසිය හැකි කොමඩ් වර්ගයේ වැසිකිලියක අවශ්‍යතාව හෝ සම්පූර්ණ කර ගත නොහැකිව ඒ වෙනුවට පුටුවක් භාවිත කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කළ බව ඔහුගේ බිරිද පෙන්වා දුන්නාය. 

Jazmin Homeකොමඩ් එකක් නැති නිසා...

Jaba Kairul Lankadeepa ජෙබා කයිරූල් හුදා - ජැස්මින්ගේ බිරිදජැස්මින්ගේ බිරිද පාසල් සමිතියක් හරහා ණයක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත්, ඇගේ වැටුපෙන් රු.20,000ක මුදලක් මාස් පතා ණය පියවීමට ගෙවන බවද කියා සිටියාය. පෙරදී සැමියාගේ වැටුපද ලැබුණු බැවින් සිය පවුල ජීවත් කරවීම එය ප්‍රමාණවත් වුවද දැන් ඔහුගේ රැකවරණය ද අහිමිවීයාමෙන් ඇය අසරණ තත්වයකට වැටී ඇති බව හෙළි කළාය.

දෙවරක් ඇගේ නිවස සෝදිසි කළ බවත්, කෝටි 100ක චෝදනාව සම්බන්ධයෙන් පුවත්පතේ පළව තිබුණද පොලිසියෙන් හෝ වෙනත් නීති අංශයකින් මේ වන තෙක් එවැනි චෝදනාවක් සිය සැමියාට එල්වී නොමැති බවද ඇය අනාවරණය කර සිටියාය.

අත්අඩංගුවට පත් මොහිදින් බාවා නවුෆර් හොරොව්පතාන ගම්මානයේ උපාධිධාරී සංවර්ධන නිළධාරියෙකු වශයෙන් කටයුතු කළ සිව් දරු පියෙකි.

ඔහුගේ බිරිද රජයේ පාසලක ගුරුවරියක වශයෙන් කටයුතු කරයි. අත්අඩංගුවට ගත් දින ඔවුන්ගේ මුළු නිවසම පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔහුට අයත් බැංකු පොත සහ විදේශ ගමන් බලපත්‍රයද පොලිස් භාරයට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීමම පිටුපස දේශපාලන පලි ගැනීමක් ඇති බවට සැක පහළ කරන ඔහුගේ බිරිද මාධ්‍යවල පළ වූ චෝදනා පිළිබද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ දැනට ඔවුන් ජීවත් වන අඩක් නිම කළ නිවසේ ඉදිරිපස කොටස තනා ගත්තේද අමානා බැංකුවෙන් ලබා ගත් නිවාස ණය මුදලකින් බවයි. තවත් වසර ගණනක් එම ණය මුදල ගෙවා දැමීමට නියමිව ඇති බවද ‌මේ වන විට ඒදිනෙදා වැඩපළවලට ද වූ ණය රැසක් ‌ගෙවා දැමීමට ඇති බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය.

'' ඕන ‌කෙනෙකුට අපි දෙන්නගෙම ගිණුම් පරීක්ෂා කරලා බැලුවොත් පෙනෙයි අපේ මාසික වැටුප විතරයි අපේ ගිණුම්වවලට ඇවිත් තිබෙන්නෙ කියලා. පත්තරේ කියනවා වගේ ‌කෝටි 100ක් අපි ළග තිබුණනම් ‌මේ තරම් ණය ‌වෙලා දුක් විදින්නෙ ‌මොකටද. ‘’ යනුවෙන් ඇය පැවසුවාය.

නවුෆර් සේවා ස්ථානයේ කාර්ය මණ්ඩලය මෙන්ම ගම්වැසියන් සමග ගෞරවනීයව කටයුතු කළ අයෙකු වූ අතර අදාල පුවත්පතේ පළ වූ කෝටි 100 චෝදනාව නිසා කාර්්‍ය මණ්ඩල සාමාජිකයන් තුළ ඔහු කෙරහි පැවති විශ්වාසය ගිලිහී ගොස් ඇති බවත්, ඔහුගේ පවුලේ සාමාජිකයෝ පවසති.

ඒසේම ගම්මානයේ දිගුකාලීනව පැවති සිංහල මුස්ලිම් සම්බන්ධතා බිද වැටී එය සිය පවුලටම තදබල මානසික කම්පනයක් වී ඇති බවද ඔහුගේ පවුලේ පිරිස් හෙළි කර සිටියහ.

Sakariyas wife lankadeepaමොහොමඩ් මහරූෆ් නසීභා - සකරියාගේ බිරිද නූහුර්ගේ සකරියා ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් තවත් අයෙකි.

බඩ ඉරිගු වගාවෙන් ජීවිකාව ගෙන ගිය සකරියාද කලක් මවුලවිවරයෙකු වශයෙන් කටයුතු කර ඇත.

තිදරු පියෙක් වන ඔහුගේ බිරිද ගෘහණියකි. ‌

මේ පිළිබද හඩ අවධි කළ බිරිද "අපිට වත්කමකට කියලා තියෙන්නේ මේ දරුවො ටිකයි ඉන්න ගෙදරයි විතරයි. සහරාන් කියලා කෙනෙක් ගැන දැන ගත්තෙත් අපි මේ සිද්ධියෙන් පස්සෙ. අපේ පවුල රැකුණෙ මහත්තයා ගොවිතැන් කරලා ගෙනාපු ආදායමෙන්. දැන් එයා නැති නිසා අපි ගොඩක් අසරණ වෙලා ඉන්නෙ. ‌වේල් ගණන් බඩ ගින්නෙ ඉන්න ‌වෙලාවලුත් තියනවා. අහල පහල කවුරුහරි අපි ගැන අනුකම්පා කරලා දෙන දෙයක් කාලා තමයි දැන් අපි ජීවත් වෙන්නෙ. මේ පලාතට අලින්ගෙන් ගොඩක් කරදර වෙනවා. අපි ජීවත් වෙන්නෙ දැන් හරි බයෙන්."

කලිෆතුල්ලාද ඇල්ලවැව ග්‍රාමයෙන් අත්අඩංගුවට පත් පස්දරු පියෙකි. ඔහුගේ බිරිදගේ පියා කලිෆතුල්ලාගේ දරුවන් වෙත දෑත් දිගු කරමින් පවසා සිටියේ "ගමේ අය පත්තරේ ‌ගෙනත් ‌පෙන්වනකම් අපි ‌කෝටි 100 කතාවක් දන්නෙ නෑ. මේ දරුවන්ගේ කන්වල තිබෙන තෝඩු දෙස හොදින් බලන්න. ඒවා රත්තරන් නෙවෙයි. රත්තරන් තෝඩු දෙකක්වත් එයාලට දෙන්නවත් අපට වත්කමක් නැහැ. මම මගේ දුවට දීලා තියන ඉඩමයි මේ ගෙදරයි දරුවො පස් දෙනයි තමයි අපට තියන එකම වත්කම. "

1 7කලිෆතුල්ලාගේ බිරිය හා දරුවන්
ලංකාදීප කර්තෘගේ කනගාටුව

මෙම සැකකරුවන් පස්දෙනා සතුව කෝටි 100ක් ගිණුම්ගතව තිබූ බවට වූ පුවත පළ කිරීමට පෙර එහි නිරවද්‍යතාවය විශ්වසනීය සාක්ෂි හා මූලාශ්‍ර හරහා තහවුරු කර ගැනීමට කටයුතු කළාද යන්න අප එම පුවතපතේ ප්‍රධාන කර්තෘතුමන්ගෙන් හා පුවත වාර්තා කළ මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් විමසීමක් කළෙමු.

එහිදී ප්‍රධාන කර්තෘතුමා පවසා සිටියේ එවැනි විමර්ශනයක් කිරීමට කාලයක් ‌නොතිබූ බවත්, ඒය සාවද්‍ය පුවතක් බවට හෙළිවීම පිළිබද තමා දැඩිව කණගාටු වන බවත්ය.

වාර්තාකාරියගේ ලොකුකම

පුවත වාර්තා කළ කර්තෘ මණ්ඩල මාධ්‍යවේදිනිය අප හා පැවසුවේ පුවත නිවැරදි බවට තහවුරු කර ගැනීමට කටයුතු කළේද නැද්ද යන්න අප කරන විමසුමට කිසිදු පැහැදිලි කිරීමක් සිදු කිරීමට තමා බැදී නොසිටින අතර කෝටි 100ක් ගිණුම්ගත වීමේ තොරතුර තමාට පැවසුවේ හොරොව්පතාන පොලිසියෙන් නොවන බවද කියා සිටියාය.

ප්‍රාදේශීය වාර්තාකරු නීතිමය විමර්ශන වාර්තාවක් හෝ එම පස්දෙනාගේ බැංකු ගිණුම් වාර්තා හෝ අධ්‍යනය කිරීමට තමාට ඉඩ නොලැබුණු බවත්, පොලිසියෙන් ලද තොරතුරු විශ්වාසනීය මූලාශ්‍රයක් ලෙස යොදාගනිමින් මේ පුවත සැකසූ බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top