Aug 14, 2019

මහින්ද ඇතුළු පොහොට්ටු මන්ත්‍රීලා පාර්ලිමේන්තුවෙන් නෙරපිය හැකියි - අ.මැකෝ

පක්ෂ දෙකක සාමාජිකයෙක් ලෙස කටයුතු කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොහැකි බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය බාර ගැනීම හා සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරු එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා ඔවුන්ට පාර්ලිමේන්තු අසුන නැති කළ හැකිදැයි ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් මන්ත්‍රීවරු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දැනුවත් කිරීමෙන් පසුව සන්ධානය විසින් මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර අදාළ පිරිසෙහි මන්ත්‍රී ධූර අහෝසි කළ හැකි බවයි.
 
එසේම ඊට තවත් ක්‍රමයක් ඇතැයි කී ඒ මහතා අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා අදාළ මන්ත්‍රී පිරිස සිය පක්ෂය නියෝජනය කරමින් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පත්ව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබා ඇති බැවින් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කිරීමට මැතිවරණ කොමිසමට නියෝගයක් ලබා ගනිමින් ද එය කළ හැකි බව ඔහු කියා සිටියේය.
 
වර්තමාන පාර්ලිමේන්තුවට (15 වැනි පාර්ලිමේන්තුවට) ලබන වසරේ (2020) අගොස්තු 07 වැනිදා දක්වා කටයුතු කළ හැකි වේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව වර්තමාන ආණ්ඩුවේ කාල සීමාව වසර 5කි.

ජනාධිපතිවරයාට වසර 4 1/2ක් ගතවූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකි අතර ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුවට වසර 4 1/2 ක් සපිරෙන්නේ 2020 වසරේ පෙබරවාරි 17 වැනිදාටය.

ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනැවිත් එය 2/3ක බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතුය.

පැරදුන මන්ත්‍රීලා 7කගේ මන්ත්‍රීකම් අනතුරේ
මේ අතර, නාගානන්ද කොඩිතුවක්කු මහතා ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පැරදුණු මන්ත්‍රීවරුන්ට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීධූර ලබාදීමට බලයක් නොවන බවයි.
 
එවැනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මතව නැතැයි ඔහු කියා සිටියේය.
 
එබැවින් දැනට මැතිවරණයෙන් පරාජයට පත්ව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස සිටින අය මන්ත්‍රීවරු නොවන බව ඔහුගේ මතයයි.
 
2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රී ධූර 12ක් හිමි වූ අතර ඒ සඳහා නම් කළ 07 දෙනෙකු මෙවර මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූවන්ය. 
 
- ඉන්දික ශ්‍රී අරවින්ද
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top