Aug 15, 2019

"ජනපති සටනට මම සූදානම්"

රටේ අවශ්‍යතාව ගැන සලකා බලා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකත්වය භාරගන්න කිව්වොත් ඒ සඳහා තමා සූදානම් යැයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසුවේ අද (15) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ජනාධිපති ධුරය ලැබුණොත් රට හදන්න තමාට හැකි බවත් මාළිගා හදන්න හෝ ආර්යාවන් හදන්න තමාට අවශ්‍ය නැති බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

"රාජපක්‍ෂ කෙනකුට ජනාධිපතිවරණයේදී සහාය දෙන්න තරම් මා බංකොලොත් නෑ. රාජපක්‍ෂලා ගැන මගේ හිතේ තියෙන ආකල්පය වෙනසක් වෙලා නෑ. ඒ ආකල්පය සදාකාලිකයි. එක්සත් ජාතික පක්‍ෂ නායකයා විසින් නිවැරදි මිනිසෙක් ජනාධිපති අපේක්‍ෂකකමට පත් කළ යුතුයි. ඔහු වෙනුවෙන් මා කැපවී වැඩ කරනවා. නුසුදුස්සෙක් දැම්මොත් හෘද සාක්‍ෂියට විරුද්ධව වැඩ කරන්න මට බැහැ. අපි ජෝකර්ලා ලෙස ජනතාව ඉදිරියට ගියා දැන් ඇති. ජනතාව ඉල්ලන්නේ රටේ ආරක්‍ෂාව ගැන අත්දැකීම් සහිත විනයගරුක කෙනෙක්. එජාපය ඒ අනුව කටයුතු කළොත් මා ගැනත් සිතාවි."

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top