Aug 18, 2019

ළමුන්ට දෙන ටැබ් ගෙදර ගෙනියන්න බෑ : ආයෙත් කැබිනට් පත්‍රිකාවක්  Featured

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමට මුදල් වෙන් කළ හැක්කේ පස් වසරකට වරක් පමණක් බවට මුදල් අමාත්‍යංශය ගෙන ඇති තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත.

පළමු වටයේදී සියලුම ජාතික පාසල්වල සිසුන්ට හා ගුරුවරුන්ට පමණක් ටැබ් පරිගණක අනූහත් දහසක් බෙදාහැරෙන අතර එම ටැබ් පාවිච්චි කළ හැකි උපරිම කාලය දෙවසරක් බව අධ්‍යාපන අමාත්‍යංශය පත් කළ කමිටුවක් නිර්දේශ කර තිබේ. 

එහෙයින් අවම වශයෙන් දෙවසරකට වරක් මුදල් අවශ්‍ය වන බව අමාත්‍යංශ්‍ය පවසයි. 

කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ මේ බව සඳහන් කරමිනි.

ටැබ් පරිගණක මිලදී ගැනීම සඳහා රුපියල් දස ලක්ෂ හාරදහසක් වෙන්කර ඇති අතර ඉන් ටැබ් සඳහා වැය වන මුදල රුපියල් දස ලක්ෂ දෙදහස් හත්සීයක් වෙයි.

මෙම ටැබ් නිවෙස්වලට රැගෙන යාමට සිසුන්ට අවසර නොලැබෙන අතර ඒවා පාසලේදීම ආරෝපණය (Charge)  කිරීම සඳහා ආරෝපණ උපකරණ පාසල්වලට ලබාදීමටද අමාත්‍යංශය සැලසුම් කර ඇත. 

එම උපකරණ මිලදී ගැනීමට සහ ටැබ්වලට අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ඉතිරි රුපියල් දස ලක්ෂ එක්දහස් තුන්සීය වැය කිරීමට නියමිතය.

ටැබ්වලට උසස් පෙළ විෂය කරුණු අන්තර්ගත කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යංශය පවසයි.

(අරුණ)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top