Aug 30, 2019

මහින්දානන්දගේ කැරම්බෝඩ් නඩුව ඔක්තෝබර් 4ට කල්යයි

හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ඔක්තෝබර් මස 4 වනදා යළි කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් අද (30) නියම කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර එහි සාමාජික විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ විභාගයට ගෙන ඇත.

සිද්ධියට අදාල නඩුව අද කැඳවා තිබූ අවස්ථාවේ පැමිණිලිකාර අල්ලස් කොමිසම විසින් එම නඩුවට අදාල ලේඛන ගොනු කිහිපයක් විත්ති පාර්ශ්වය වෙත ලබාදී තිබේ.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිට නීතීඥ අසාද් නවාවි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩු කටයුත්ත දිනපතා විභාගයට ගැනීමට නියමිත බැවින් විත්තිකරුවන්ගේ පැමිණීම ඉතා අවශ්‍ය වන බවත් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් ය.

එහිදී විත්තියේ නීතීඥවරන් පවසා සිටියේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම ඉල්ලීම සළකා බැලීම සුදුසු බව හා විත්තිකාර පාර්ශ්වය වෙත ලබාදුන් ලිපි ගොනුවල අඩුපාඩු ඇත්නම් එදිනට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරු මඬුල්ල පවසා තිබේ.

2014 වසරේ සැප්තැම්බර් මස පළමු වැනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා වූ කාලසීමාව තුළ පැවති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top