Sep 02, 2019

ශනිල් නෙත්තිකුමාරගේ මෝසම ඉල්ලා අස්කර ගනියි

බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් ඒ. විජේසූරිය නමැතිගේ සොහොයුරකු වන විජිත් විජේසූරියට මරණ තර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී සිටින ශනිල් නෙත්තිකුමාර විසින් තමාට විදේශගත වීම සඳහා අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මෝසමක් අද (02) කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.

මෙම මෝසම ඉකුත්දා කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර නෙත්තිකුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට ඩුබායි හි පැවැත්වෙන ලෝක බලශක්ති කොංග්‍රසයේ සමුළුවට සහභාගිවීම සඳහා විදේශ ගතවීමට අවසර දෙන්නැයි ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව මෝසම අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර නෙත්තිකුමාර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාගේ පියා හදිසි ශල්‍යකර්මයකට භාජනය වී සිටින බැවින් මෙම අවස්ථාවේ විදේශගත වීම පිළිබඳ ඉල්ලීමක් ඉදිරිපත් නොකරන බවත් ඒ අනුව අදාළ මෝසම ඉල්ලා අස්කර ගැනීමට ඉඩ දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විත්තිය විසින් ඉදිරිපත් කළ මෝසම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදුන් අතර අදාල නඩුව සැප්තැම්බර් මස 05 වැනිදා කැඳවීමට නියෝග කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top