Sep 04, 2019

මෛත්‍රී, චන්ද්‍රිකා බජනය ශ්‍රීලනිපයේ හැරවුමකට : නිමල් පොහොට්ටුවට Featured

කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ඊයේ (03) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලන රැස්වීමට එම පක්ෂයේ අනුශාශිකා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පැමිණීමත් ඇයට එහිදී ලැබුණු උණුසුම් පිළිගැනීමත්, තවත් දේශපාලන එකඟතාවයක පෙර නිමිත්තක් බව දේශපාලන විචාරකයෝ කියති.

පසුගිය කාලයේදී, හිටපු ජනපතිනියට හමුවීමට හෝ අවස්ථාවක් ලබා නොදුන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී ඇය සමඟ සතුටු සාමීචියේ යෙදී සිටි බව පැවසේ.

එසේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු වන කුමාර වෙල්ගම මහතාට ද මෙහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව වාර්තා වේ.

රටේ සිව් දෙසින් එක්ව සිටි දහස් සංඛ්‍යත පක්ෂ නියෝජිතයින් සිය අසුන් වලින් නැගිට අත්පොලසන් දෙමින් ඉතා උණුසුම් ආකාරයෙන් චන්ද්‍රිකා හා වෙල්ගම පිළිගෙන තිබේ.

නිමල් පොහොට්ටුවට

මේ අතර, ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (03) ඉදිරි දින කිහිපය තුලදී 'පොහොට්ටුවට' එක්වීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ඔහු සමුළුව අමතා කල කතාවෙන් පැහැදිලි වන බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.

පවතින තත්ත්වය මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයගැනීමේ හැකියාවක් නොමැති බවත්, එසේ නමුත් රජුන් තැනීමේ ශක්තියක් ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා මාධ්‍ය හමුවකදී ද පවසා තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු සතුරා පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක් විය යුතු බව ද ඔහු එහිදී කීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම සමුළුවට ආණ්ඩුවේ පක්ෂ නායකයන් වන අමාත්‍ය චම්පික රණවක, අර්ජුන රණතුංග, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, එස්.බී. නාවින්න මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ හා හිස්බුල්ලාහ් ආදීහු ද එක්ව සිටියහ.

එජාපයේ ආරාධනා ලැබූ අමැතිලා දෙන්නා

මේ සමුළුවට එක්වන ලෙස ශ්‍රීලනිපය හා ගනුදෙනු කරන එජාපයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකුට මෙයට එක්වන ලෙස ද ආරාධනා කර තිබූ අතර එජාපය විසින් මෙයට සහභාගි නොවීමට ගෙනතිබූ තීන්දුවක් හේතුවෙන් ඔවුන් එක් නොවූ බවද මේ අතර වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top