Sep 05, 2019

RMV තවත් මගඩියක් - මේ සැරේ ලක්ෂ හාරදහසයි Featured

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගේ හිතවතකුගේ සමාගමක් මගින් රුපියල් ලක්ෂ හාරදහසක වියදමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිල්ල නවීකරණය සඳහා ගන්නා උත්සාහය බරපතල මහජන මුදල් නාස්තියක් බව එහි සේවකයෝ පවසති.

නව ඊ -මෝටරින් සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ හාරදහසක වියදමින් අදාල නවීකරණ කටයුතු සිදු කෙරෙන අතර ඒ සදහා රජයේ ආයතන වන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යංශය ඇතුළු ආයතන සහ තවත් පුද්ගලික සමාගම් නවයක් ඉදිරිපත් තිබියදී මේ තෝරා ගැනීම එහි ප්‍රධානීන් සිදුකර තිබේ.

එසේම එම දෙපාර්තමේන්තුවේ නවීකරණ කටයුතු උපදේශනය සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා සුදුසුකම් ලැබුවේ ආයතන තුනක් පමණි.

ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සහ මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යංශය සහ තවත් පුද්ගලික සමාගමකි.

සුදුසුකම් ලැබූ රාජ්‍ය රාජ්‍ය ආයතන දෙකක් තිබියදී ඒ සඳහා ටෙන්ඩර් කැඳවීමේදී මුල්වටයෙන්ම ප්‍රතික්ෂේප වුනු පුද්ගලික ආයතනයකට පිළිගත් ටෙන්ඩර් පටිපාටි උල්ලංගනය කරමින් මෙම උපදේශන සේවා කටයුත්ත පිරිනමා තිබේ.

මෙවන් රටට අතිශය වැදගත් රාජ්‍ය ආයතනයක කටයුතු මේ ආකාරයට පළපුරුද්දක් රහිත සමාගමකට ලබාදීම හේතුවෙන් මහජන මුදල් නාස්තියක් මෙන්ම ආයතනයෙන් සිදුවන මහජන සේවාවටද හානියක් බව සේවකයෝ පෙන්වා දෙති.

එසේම නවීකරණ කටයුතු සඳහා වැයකරන මේසා විශාල මුදලින් නවීනතම ගොඩනැගිල්ලක් අලුතින් ඉදිකළ හැකි බවද දෙපාර්තමේන්තු සේවකයෝ පවසති.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුෂණ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේද ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් බොහෝ චෝදනා එල්ලවූ අතර පසුව ප්‍රවාහන අමාත්‍යංශයෙන් ඒ සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කලද ඒවා අතරමග නතර කර දමා තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top