Sep 11, 2019

සාකච්ඡා සාර්ථකයි : රනිල්ගේ කොන්දේසිවලට සජිත් එකඟයි ! Featured

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහත්වරුන් අතර අරලියගහ මන්දිරයේදී ඊයේ (10) රාත්‍රී පැවැති සාකච්ඡාව ඉතා ධනාත්මක සහ සුබවාදීව පැවැති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

රාත්‍රී 9.30 ට පමණ ඇරැඹි පැයක් පමණ පැවැති මේ සාකච්ඡාවට අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර සහ රාජිත සේනාරත්න යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය උපයෝගී කරගන්නා ඡන්ද උපක්‍රම පිළිබඳවත් අපේක්ෂකයා කවුරුන් වූවන් සන්ධානගත වී ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ යුතු ආකාරය පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණ වශයෙන් තවදුරටත් ඉදිරියට වැඩ කටයුතු කිරීම අරමුණ බව මෙහිදී සියලුදෙනාගේම අරමුණ බව ප්‍රකාශයට පත්වී තිබේ. 

කෙටිකලකින් සුභ ප්‍රතිඵල - සජිත්

මේ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ කෙටි කලක් ඇතුළත සුබදායි ප්‍රතිඵලයක් ලැබෙනු ඇති බවත් සාකච්ඡා වට කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙනු ඇති බවත්ය.

තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා - එළඹෙන ජනාධිපතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා සුහඳව පැවති බවත් මෙහිදී අගමැතිවරයා සුබවාදී මතයක සිටි බව සදහන් කරන ඒ මහතා සාකච්ඡා මාර්ගයෙන් පවතින තත්ත්වය නිරාකරණය කරගත හැකි බවද සියල්ල සුබවාදීව සිදුවන බවද පෙන්වාදෙයි.

එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ලෙස ඉදිරියට යන බව කී ඒ මහතා මේ සාකච්ඡාවේ දී ඉල්ලීම් කිසිවක් නොකළ බවද එක්සත් ජාතික පක්ෂයේ ක්‍රමෝපායන්, සැලසුම් තිබෙන අතර සාකච්ඡා සුහඳව පැවැති බවද සදහන් කළේය. 

ඉදිරි දින කිහිපයේ දී හොඳ ප්‍රතිඵල දැනගත හැකිවනු ඇතැයි විශ්වාසය පළකළ ඒ මහතා තවදුරටත් සාකච්ඡා කරන බවද තමා මේ සම්බන්ධයෙන් සුබවාදීව සිතන බවද කීවේය. පක්ෂ අභ්‍යන්තරයේ හොඳ සාකච්ඡාවක් පැවැති බවද පුද්ගලයන් සමඟ තමාගේ ගණුදෙනුවක් නොමැති අතර ගණුදෙනු තිබෙන්නේ රටේ ජනතාව සමඟ බවද කී සජිත් ප්‍රේමදාස මහතා තමා උකුස්සෙකු හෝ රාජාලියෙකු නොව තමා ඇතෙකු බවද පෙන්වා දුන්නේය. 

"බුදුවීමට පෙරුම් පුරන්න ඕන" 

බුදු බව ලබන්නත් පෙරුම් පුරන්න වූ බව කී ඒ මහතා සෑම දෙයක් සම්බන්ධයෙන්ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සුබවාදී මතයක සිටින බවද සාකච්ඡා මාර්ගයෙන් සුහඳව හොඳ තැනකට පැමිණෙන බවද සදහන් කළේය.

පක්ෂය අභ්‍යන්තරයේ කිසිඳු ගැටළුවක් නොමැති අතර ගැටළු තිබෙන්නේ නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගතහැකි බවද ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් තමා විශාල විශ්වාසයකින් පසුවන බවද පැවසීය. 

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ සජිත් පාර්ශවය සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය වශයෙන් දෙපිළක් සිටින බවට ඇතැමුන් ප්‍රකාශ කළද එවැනි දෙපිළක් නොමැති බව පෙන්වාදුන් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි දින කිහිපයේ අඛණ්ඩව සාකච්ඡා කරන්න සූදානම් බවද දෙමල ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරන බවද ප්‍රකාශ කලේය.

හැම පාර්ශවයකම සහාය ලැබෙන බව කී ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද සහාය හිමිවන බව කී ඇමැතිවරයා තමා ඉවසීමෙන් කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.

ඇමැතිවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න සහ කබීර් හෂීම් මහත්වරුන් මේ සාකච්ඡාව සඳහා සහභාගි වූහ.

සජිත් ජනපති අපේක්ෂකයා - හරීන්

මේ අතර, සජිත් පාර්ශවය සඳහන් කරනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතා මේ සති අන්තයේදී අපේක්ෂකයා ලෙස නම් කිරීමට මේ සාකච්ඡාවේදී එකඟ වූ බවයි.

සජිත් පාර්ශවය නියෝජනය කරනු ලබන හරීන් ප්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුම හරහා කියා සිටින්නේ සජිත් මහතා අගමැතිවරයා සමඟ කළ සාකච්ඡා සාර්ථක බවත් ඉදිරි දින කිහිපයේදී එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරනු ඇති බවයි.

HarinF Tweet

සබැඳි පුවත්

රනිල් සජිත් හමුව අඟහරුවාදා තෙක් ඇදෙයි: සජිත් සිරකරුවෙක්වීද?

රනිල් හම්බන්තොටින් ජනපති සටන අරඹයි : සජිත්ට බලපෑම්

විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ නම් සජිත්ට අපේක්ෂකත්වය

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top