Sep 11, 2019

සෝෂල් මීඩියාවල වෛරී ප්‍රකාශ වැඩි වෙලා : මැකෝගේ ගැටේ Featured

ජනාධිපතිවරණ සූදානම හමුවේ වෛරී ප්‍රකාශන සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් පසුගිය දින කිහිපය තුළ කරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇති බව කියා සිටී.

වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමේ ප්‍රවණතාව ඉදිරියේදී තවත් වැඩි විය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමටත් පෙර මෙවැනි අයහපත් තත්ත්වයක් නිර්මාණය වීමෙන් එදිනෙදා සමාජ මාධ්‍ය පරිශීලනය කරන ලක්ෂ ගණනක් වූ ජනතාව පීඩාවට හා අපහසුතාවට පත්ව සිටින බවද අනාවරණය වී තිබේ.

ෆේස්බුක් තුළ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත්, එය අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා යොදා ගැනීමට වඩා, අපේක්ෂකයන්ගේ ගෞරවයට හා අභිමානයට හානි කිරීමට යොදා ගන්නා මෙවලමක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජීව් යසිරු පෙන්වා දෙයි.

මෙලෙස වෛරී ප්‍රකාශන හා අසත්‍ය පුවත් මුදා හරිනු ලබන්නේ ව්‍යාජ ගිණුම් උපයෝගි කරගනිමිනි.

එම තත්ත්වය නිසි පරිදි තේරුම් ගෙන එවැනි ගිණුම් ඉවත් කිරීමට හෝ ඒ පිළිබඳ පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙස රජීව් යසිරු සමාජ මාධ්‍ය පරිශීලකයන්ගෙන් ඉල්ලා සිටී.

මැකෝ සෝෂල් මීඩියා වැඩ මඩින්න ගහපු ගැටේ

මේ අතර, ඉදිරි මැතිවරණ වලදී ෆේස් බුක් සමාජ ජාලය යොදා ගනිමින් වෛරී ප්‍රකාශ මෙන්ම මඩ ගැසීම් ආදී මැතිවරණ නීති උල්ලංඝණය කෙරෙන ආකාරයේ ක්‍රියාවන් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන මැතිවරණ කොමිසම සහ ෆේස් බුක්
සමාජ ජාලයේ ඉන්දියානු සහ මෙරට ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පසුගිය 09 වැනිදා රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.

ඒ සඳහා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල 25 ම තොරතුරු තාක්ෂණ නිලධාරීන්ද සහභාගි වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කළ විමසුමකදී සඳහන් කෙළේය.

සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ පසුගිය 08 වැනිදා ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මඟින් මැතිවරණ නීති උල්ලංඝණය වීම් වැලැක්වීමට ක්‍රියා කිරීම් ගැන දීර්ඝ ලෙස මැතිවරණ කොමිසම අදහස් හුවමාරු කරගත් බවද සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

ඉදිරියේදී මෙම සාකච්ඡා තවදුරටත් පුළුල්ව සිදු කරන බවත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද මුණ ගැසෙමින් විටෙන් විට ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කරන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top