Sep 12, 2019

තමා නිදහස් කරනැයි ඉල්ලූ වෙල්ගමගේ පෙත්සම විසි වෙයි

අල්ලස් කොමිසම විසින් තමාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවකින් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් අද (11) ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කර තිබේ.

කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ පාලන සමයේ කටයුතු කළ අවධියේ ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් වන නියෝජ්‍ය සභාපති තනතුරක් නිර්මාණය කර රජයට රුපියල් ලක්ෂ 33ක පාඩුවක් සිදු කළ බව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඔහුට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇත.

එම නඩුව ගොනුකර තිබෙන ආකාරය නීති විරෝධීයැයි සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කර නඩුව දිගටම විභාගයට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කළ බවත් මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීන්දුව නීතිවිරෝධී යැයි තීරණය කොට තමන්ව එම නඩුවෙන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් කුමාර වෙල්ගම මහතා සිය ප්‍රතිශෝධන පෙත්සම හරහා කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top