Sep 12, 2019

නිශ්ශංක ඇතුළු ඇවන්ගාඩ් විත්තිකරුවන්ට සිතාසි

ගාලු වරායේ ආසන්න මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) සිතාසි නිකුත් කර තිබේ.

2014 වසරේ අප්‍රේල් මස 07 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 06 වන දා දක්වා කාලසීමාව තුළ හික්කඩුව ආසන්න මුහුදේ එම්.වී ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්‍රිය ගිනි අවි 816ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ නවසිය තිස් පහක් (200,935) තබාගැනීම තුළින් විත්තිකරුවන් වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.

විත්තිකරුවන් විසින් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ මෙම අපරාධ ක්‍රියාව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් දැඩි කැලඹීමකට තුඩු දී තිබූ හෙයින් මෙම නඩුව ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට සුදුසු බවට නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිගත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් මෙම නඩුව විභාගයට සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top