Sep 15, 2019

විග්නේශ්වරන් එළුග තමිල් විරෝධතාවයට ආරාධනා කරයි

එළුග තමිල් නොහොත් නැඟිටිව් දෙමළුනි යන්න පදනම් කර ගනිමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් බිහිකළ දෙමළ මහජන සභාවේ මිළඟ විරෝධතා වැඩසටහන හෙට (16) යාපනය ප්‍රදේශයේ පැවැත්වෙන බැවින් ඒ වෙනුවෙන් එක්වන ලෙසට තමන් ආරාධනා කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසයි.
සාධාරණය වෙනුවෙන් ජනතා හඩ ලෙසට නම් කරමින් මූලික ඉල්ලීම් හයක් ඉලක්ක කර ගනිමින් විග්නේශ්වරන් මහතා ප්‍රමුඛ දෙමළ මහජන සභාව සංවිධානය විසින් එළුග තමිල් විරෝධතා වැඩසටහන පවත්වනු ලබයි.
 
01.දෙමළ ජනතාවගේ නිජ භූමිය තුළ සිංහල බෞද්ධ ආගමික ස්ථාන ඉදිකිරීම හා සිංහල ජනාවාස ඉදිකිරීම නවතා දැමීම.මහවැලි සංවර්ධනය මුවාවෙන් සිදුකරන සිංහල ජනාවාස බිහිකිරීම හා වර්තමානයේ මහවැලිය මුවාවෙන් සිදුකරන සිංහල ජනාවාසයන්ගේ ඉදිකිරීම් නවතා දැමීම.
 
02.ජාත්‍යන්තර මැදිහත්වීමක් මත යුධ සමයේ සිදුවු යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් වෙත දඩුවම් ලබාදීම.
 
03.දේශපාලන සිරකරුවන් සියළුදෙනා නිදහස් කිරීම.
 
04.අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම හා අතුරුදහන්වූවන්ගේ පවුල්වෙත සාධාරණය ඉටුකරදීම.
 
05.උතුරු නැගෙනහිර ප්‍රදේශයන්ගේ දෙමළ ජනතාවගේ ඉඩම්තුළ ස්ථාපිත කොට ඇති ආරක්ෂක කදවුරු ඉවත්කිරීම.
 
06.යුද්ධය හේතුවෙන් අවතැන් වු සියළුදෙනා ඔවුනගේ මුල් පදිංචි ඉඩම්තුළ නැවත පදිංචි කිරීම යන කාරණාවන් දිනා ගැනීම වෙනුවෙන් තමන්ගේ දේශපාලන ව්‍යාපාර දියත් කරන බව දෙමළ මහජන සභාව එහිදි ප්‍රකාශ කරනු ලැබීය.
 
දෙමළ ජාතික සන්ධානය හරහා දෙමළ ජනතාවගේ ගැටළුවලට විසදුම් නොලැබෙන බැව් සදහන් කරමින් එවක උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව, දේශපාලන හා සිවිල් සංවිධාන රැසක සහභාගීත්වයෙන් දෙමළ මහජන සභාව සංවිධානය 2016 වසරේ ස්ථාපිත කරනු ලැබීය.
 
නැඟිට්ව් දෙමළුනි මෙවර මහා සම්මේලනය හා පාගමන හෙට (16) යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපස මුට්රවේලි ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ තුළින් මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වීමට නියමිත අපේක්ෂකයින් වෙනුවෙන් සිය ප්රතිපත්ති ප්රකාශය ලබාදීමට නියමිත බවද විග්නේශ්වරන් මහතා පැවසුවේය.
 
විග්නේශ්වරන් මහතා එහිදි වැඩිදුරටත් පැවසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින් අතරින් තමන්ගේ ප්රතිපත්ති මාලාවේ කරුණු ක්රියාත්මක කිරීමට කැමති අපේක්ෂකයා වෙනුවෙන් තමන්ගේ දෙමළ මහජන සභාවේ සහයෝගය ලබාදෙන බවයි.
 
දෙමළ මහජන සභාව වර්තමානයේදී දෙමළ ජාතික සන්ධානයේ ජන්ද පදනම වෙනුවෙන් බලපෑමක් එල්ල කිරීමට සුදානම් බව උතුරේ දේශපාලනය සම්බන්ධයෙන් දේශපාලන විචාරයකින් පවසති.
 
උතුරු නැගෙනහිර එකාබද්ධ කොට පෙඩරල් පාලනයක් ලබාගැනීම,උතුරේ නව සිංහල ජනාවාස බිහිකිරීම නවතා දැමීම,දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,උතුරු නැගෙනහි හමුදා කදවුරු ඉවත් කරන ලෙසට ඉල්ලීම් කරමින් එළුග තමිල් නමැති පළමු වැඩසටහන 2016 සැප්තැම්බර් 24 වැනිදා මහා විරෝධතාවයක් පවත්වා විග්නේශ්වරන් මහතා ඇතුළු කණ්ඩායම ආරම්භ කරනු ලැබීය.
 
විග්නේශ්වරන් මහතා පැවසුවේ දෙමළ මහජන සභාවේ ඉල්ලීම් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හෝ අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින් කැමැත්ත පළ කරන්නේ නම් තම කණ්ඩායමේ සහයෝගය අදාළ අපේක්ෂකත්වය වෙනුවෙන් ලබාදෙන බවයි.
 
දෙමළ මහජන සභාව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය සුරේෂ් ප්රේමචන්ද්ර මහතා ප්‍රමුඛ ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, ආනන්ද සංගරී මහතා ප්‍රමුඛ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් මහතා ප්‍රමුඛ සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂය හා උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන රැසක සහයෝගය හිමිව පවති.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ මහජන සභාව කණ්ඩායම දෙමළ ජාතික සන්ධානයට එරෙහිව මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමේ සුදානමක් පවතින බව දෙමළ මහජන සභාව නියෝජනය කරන සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා පැවසුවේය.
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top