Sep 16, 2019

ජොනීගේ පෙත්සම කල්යයි

තමාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි හිටපු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තොම්බර් මස මස 04 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (16) නියම කළේය.

2010 සහ 2014 යන වසරවලට අදාල කාලසීමාව තුළ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට රුපියල් කෝටි 04ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව ගොනුකර තිබේ.

එම නඩුව ගොනුකර ඇති ආකාරය නීති විරෝධී බවත් ඊට එරෙහිව විරෝධතා ඉදිරිපත් කළ ද ඒවා ප්‍රතික්ෂේප කර නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බවත් පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.

එසේම පෙත්සම්කරු වැඩිදුරටත් පවසා ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙසත් අදාල චෝදනාවලින් තමා නිදොස් කොට නිදහස් කරන ලෙසත් ය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top