Sep 16, 2019

රන්ජන්ට එරෙහිව ඇති නඩුවත් කල් යයි

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් වරයාට සහ "උසාවිය නිහඬයි" නැමැති චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ ප්‍රසන්න විතානගේ යන මහත්වරුන්ට ලබන 30 වනදා සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිතාසි නිකුත් කර ඇත.

සිද්ධියට අදාල නඩුව අද(16) සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය ධුරය දරමින් රංජන් රාමනායක මහතා 2017 අගෝස්තු 21 වැනි දින අග‍්‍රමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමකදී මාධ්‍ය වෙත ලබා දුන් ප‍්‍රකාශයක් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105.3 වගන්තිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට නුගේගොඩ , ගංගොඩවිල ,වලව්වත්ත පාර් ,අංක 43 /11 දරණ ස්ථානයේ පදිංචි රණවක සුනිල් පෙරේරා නැමැත්තා සහ මාගල්කන්දේ සුදන්ත හිමි විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක මහතාට එරෙහිව එම චෝදනා පත්‍රය ගොනු කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top