Sep 19, 2019

විශේෂ කැබිනට් මණ්ඩලයට අයිතිකාරයෙක් නැති යෝජනාවක්  Featured

අද (19) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැඳවීමකට අනුව රැස්වූ විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න පිළබඳව මේවන විට ගැටලුවක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ අදාළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර ඇති බවට ඇමති රාවුෆ් හකීම් මහතා විසින් මාධ්‍යට ප්‍රකාශකර තිබුණද එය අගමැතිවරයාගේ පාර්ශවයෙන් ඉදිරිපත් වූවක් නොවන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

මෙහිදී ඔහු කියා සිටියේ අගමැතිවරයා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට විරෝධයකක් නැතත් අදාළ යෝජනාව ඔහු විසින් ඉදිරිපත් කරන ලද්දක් නොවන බවයි.
 
කෙසේවුවද, මේ යෝජනාව අද විශේෂ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී ඒ සඳහා සුළු පක්ෂවල විරෝධය එල්ලවී තිබේ.
 
විශේෂයෙන් රාවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා පී. දිගම්බරන් යන මහත්වරුන් මේ සාකච්ඡාවේදී ඔවුන්ගේ දැඩි විරෝධය දක්වා ඇත.
 
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට යාම තම පිල දුර්වල කරන්නක් බව හකීම් මහතාගේ අදහස වී තිබේ.
 
කෙසේවුවද, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම ජනතා විමුක්ති පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ අරමුණු අතර ඉදිරියෙන්ම තිබෙන්නකි.
 
TNA ඉල්ලීම
 
මේ අතර, දෙමළ ජාතික සංධානය හා අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී ද දෙමළ ජාතික සංධානය අගමැතිවරයාගෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම හා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉල්ලීම් කර තිබිණි.  
 
විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට යෝජනා කිරීම නින්දිතයි - සජිත්
 
මේ අතර, ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කළ අවස්ථාවක විධායක ජනපතිධුරය අහෝසි කිරිමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීම නින්දිත, අශිෂ්ඨ සදාචාර සම්පන්න නොවන වැඩක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියයි.

ඔහු මෙසේද කීය.

“එක් එක් පුද්ගලයින් තමන්ගේ මති මතාන්තර එක්කළා. නමුත් මේ වගේ යෝජනාවක් මේ වගේ තත්ත්වයක් තුළ ඊයේ රාත්‍රියේ ගැසට් නිවේදනය නිකුත් කළේ. නාම යෝජනා දිනයක් තිබෙනවා. මැතිවරණ දිනයක් තිබෙනවා. එහෙම තියෙද්දී ජනාධිපතික්‍රමය අහෝසි කරන්න සාකච්ඡා කරන එකත් ඒක මහා නින්දිත ක්‍රියාදාමයක්.

ඒක ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක්. විධායක ජනපතිධුරය අහෝසි කිරිම ගැන සාකච්ඡා මීට සති දෙකකට පෙර කරන්න තිබුණා. සතියකට පෙර කරන්න තිබුණා. මේක අඟහරුවාදා සාකච්ඡා කරන්න තිබුණා.

දිනන සන්ධානය මා සතුව තිබෙනවා. මම ලෑස්තියි. කිසිම කථා දෙකක් නෑ. දෙවතාවක් හිතන්න දෙයක් නෑ. මේ හැමදේම පසුපස සජිත් භීතිකාවක් තිබෙනවා. විධායක ජනපතිධුරය නෙමෙයි සජිත් භීතිකාවක් තිබෙනවා.

ඕනම ප්‍රගතිශීලි සන්ධානයකට අපි දොරටු විවෘත කර තිබෙන්නේ අපිත් සමග එකතු වෙලා විප්ලවීය වැඩසටහනේ කොටස්කරුවෙක් වෙන්න කියලා.

සදාචාර සම්පන්න අශිෂ්ඨ යෝජනාවක් තමයි මේ ඉදිරිපත් වුණේ. ඒත් මං අහන්න කැමතියි ඇයි අවසාන මොහොතේ අවසාන තත්ත්පරයේ කරන්න හැදුවේ.”

සිවිල් සමාජය
 
සිවිල් සමාජයේ ක්‍රියාකාරීන් අගමැතිවරයා, කරූ ජයසූරිය මහතා හා සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවලදී ඔවුන් විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඔවු එය අහෝසි කරන ලෙස ඉල්ලා තිබිණි.
 
කෙසේවුවද, කරූ ජයසූරිය මහතා ඉදිරි ජනපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන්නේ නම් ඒ කෙටි කළකට බවත්, ඔහු එසේ ඉදිරිපත්වන්නේ විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීමට බවත් සඳහන් කර තිබේ.
 
මේ අතර, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 දී ජන වරම ලබාගනු ලැබුවේද, විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවට ජනතා පොරොන්දුවක් ලබාදෙමිනි.
 
සබැඳි පුවත්
 
 
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top